Saturday, December 31, 2011

සයිබර් අවකාශය ලිබරල්කරණයෙන් ඔබ්බට

ලාංකීය වත්මන් දේශපාලන භූමිකාව තුළ එහි සියලු සමාජගත දේහයන් අර්බුදයටම යමින් තිබේ. එය ඉතාම ඛේදනීය අවසානයක ඇරඹුමක් සටහන් කරමින් සිටී. ලාංකීය දේශපාලනය නව පන්නයේ දේශපාලන මගක්, නව නායකත්වයක්, නව අරගල විධීන් ඉල්ලා සිටී. වත්මන් අර්බුදය විසින් මතු කර ඇති අවස්ථාව තේරුම්ගත හැක්කේ එලෙසය. එය වත්මන් සමාජයේ අභියෝගයයි.

 එකී අභියෝගය අර්බුදයේ අභියෝගය වන විට එම අභියෝගය තේරුම් ගැනීම හා ඊ‍ට විසඳුම් සෙවීමට මැදිහත්වීම එම අභියෝගයේ අර්බුදය බවට පත්ව ඇත. මේ සඳහා දේශපාලන ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වය සාකච්ඡා කිරීම ‍මීට‍ පෙරත් සිදු කර ඇති බැවින් ඉදිරියේදීත් එවැනි බලාපොරොත්තුවක් ඇති නිසා අපද මැදිහත්ව සිටින Syber Space පිළිබඳව සාකච්ඡා කිරීමට කැ‍මැත්තෙමු. විශේෂයෙන්ම මෙහිදී අප නෙත ගැටෙන්නේ සිංහල blog අඩවියන්ය.

 නව තාක්‍ෂණික භාවිතාව සමග වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ එක් පැතිකඩක් වූ සිංහල බ්ලොග් අඩවි යනු බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හෝ තනිවම හෝ පවත්වාගෙන යා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැක. එකී blog අඩවි වර්තමානයේ පිරික්සන විටෙක ඒවා විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය කරන බවක් දැකිය හැක. කලාව, තාක්‍ෂණය, සංස්කෘතිය, ලිංගිකත්වය, ෆැසිස්ට්වාදය, ධනවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ලිබරල්වාදය, අවස්ථාවාදය, ජාතිවාදය බැරිම නම් නිදහස්වාදය ගැන හෝ ලියමින් සිටී. ප්‍රශ්නය වන්නේ ද මෙම අඩවි වල පවතින නිදහස්වාදයමය.

 විටෙක වීදියේ සටනට පක්‍ෂවද, විටෙක විපක්‍ෂවද, රෙජීමයට පක්‍ෂවච, විටෙක විපක්‍ෂවද හිතට දැනෙන හැඟෙන දේ කුරුටු ගාමින් ඇත. ඒවා කියවන අය සිතන්නේ මේවා ලියන්නේ මහා කෙරුමෝ කියාය. මොවුන් ඒ තරම් ම කැරළිකරුවෝය. අවි අමෝරා‍ගෙන කුරුටු ගාන්නේ බලන උන්ගේ ඉහමොල රත් වෙන්නටය. එය විටෙක ජවසම්පන්නය. විටෙක එය සටන්කාමීය. විටෙක විප්ලවකාරීය. එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ඔළු පලාගන්නේ නැතිව, හිරබත් කන්නේ ද නැතිව සියල්ලටම ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් ඇත. විටෙක මෙකී සංවාදයන් එකිනෙකා යට කරගන්නා අදහස් විනා ඉන් කියවන වුන්ට මෙලෝම වැඩක්වත් නැත. අවසානයේ සයිබර් අවකාශය එකිනෙකාගේ යුද පිටියක් බවට පත්ව මූලික ප්‍රතිවිරෝධය මගහරවා ගනී.

 තමාගේ රුචි අරුචිකම් මත සීමා මායිම් සකස් කර ගත් අයද මෙහි දැකිය හැක. එවැනි අයට තමා ජීවත් වන රෙජීමය රවුම්ද, හතරැස්ද යන්න අදාළ නැත. ඔවුන්ට තමාගේ රුචිකම් වලට අනුව ලියන්නට බොහෝ දේ ඇත. ඒ නිසාම ඔවුන්ද ඇතුළත් සමාජයේ බහුතරය වූ පීඩිතයා ඔවුන්ට මගහැරී ඇත. එමෙන්ම ඔවුන්වද පීඩාවට පත් කරන දුෂ්ඨ පීඩකයාද මගහැරී ඇත. මෙකී සියලු භාවිතාවන් අප අත්දුටු සයිබර් අවකාශයේ ලිබරල්කරණයයි. වත්මන් දේශපාලන මොහොතේ දී අරගලකරුවාගේ අනෙකා විය යුත්තේ පීඩකයා බව අපගේ විශ්වාසයයි. එහෙත් පීඩකයා අනෙකා කරගන්නවා වෙනුවට තමාගේම ගමන් සගයා අනෙකා බවට පත්ව එල්ල වන ෂෙල් ප්‍රහාර වලින් ද බර අවි වලින් ද පොදු සාමූහික අරගලය වල් වැදී ඇත. එය ඉතා පටු ගෝත්‍රික හැඩයක් ද ගෙන ඇත. එවැනි භාවිතාවක් දිගින් දිගටම පෙන්නුම් කරන blog අඩවිකරුවා ස්වයං වින්දනයක යෙදී ඇතැයි නිගමනයකට පැමිණීමට ද හැකියාවක් ‍ලැබෙන අතර මෙකී භාවිතාව විසින් ඔවුන් රැඩිකල්වාදී පුරුෂයන් බවට පත් කිරීමද අහම්බයක් නොවේ.

මෙකී හේතුව නිසාම blog අඩවි කරුවා ඉතා පටු පුද්ගලික මාර්ගයන් ඔස්සේ දිවයාම අරඹා ඇත. එහි කූටප්‍රාප්තිය වනුයේ මොවුන් එක් වේදිකාවක් තුළ වඩා හිඳුවා ගැනීමය. මොවුන් එක් සංවිධානයක් යටතට ගැනීමය. තමාගේ වේලාවෙන් සොරකම් කර ගන්නා කාලයක් තුළ රැඩිකල් මානයකට තමාවම ඔසවා තබා ගනිමින් ස්වයං වින්දනයක යෙදීම වෙනුවට blog අයිතිකරුවන් සත්‍යවාදීන් ලෙස සටන් කරන එක් පෙරමුණකට පැමිණීම අද දවසේ නව අරගල මානයක් ලෙස අප දකී.



වත්මන් ඓතිහාසික හැරවුමේ දී ඉල්ලා සිටිනුයේ එවැනි භාවිතාවක් මිසක පුටු රත් කරන, විප්ලවීය පාඨයන් ලියා තබන, තමාගේම සගයාට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන භාවිතාවක් නොවේ. එකී හැරවුමට blog අඩවි කරුවාද සූදානම් වන්නේ නම් එය ලාංකීය භූමිය තුළ සිදු වන ඓතිහාසික අරගල දහසක ආරම්භය බවට පත් වනු ඇත. එය නව මානයක මාධ්‍ය භාවිතාව වනු ඇත. එය පීඩකයාට උඩින් සිට පීඩකයා ඔසවා තබා ගන්නා ක්‍රියාදාමයක ආරම්භය වනු ඇත.

නව මිනිසෙක්! අරගල දහසක්!! උපදින නව වසරක්!!!

නව මිනිසෙක්!
අරගල දහසක්!!
උපදින නව වසරක්!!!

Thursday, December 29, 2011

වීරයා එනකං...

අ‍ප රටේ මහා වීර කාව්‍යයන් බිහි වී නැතත් රාමායනය, මහා භාරතය, ඔඩිසි, ඉලියට් වැනි කථා ඉපැරණි වීර කාව්‍යයන් ලෙස හඳුනා ගත හැකිය. මිනිසුන් තමන්ගේ විමුක්තිය උදෙසා සටන් වැදීමට විමුක්තිදායකයෙකුගේ පැමිණීම අපේක්‍ෂාවෙන් හිටියත් ඔවුන් එවැනි වීරයන් අපේක්‍ෂා කරනවා. සමහර විට එය පරම්පරා ගණනාවක් විය හැකියි.

සමහර විමුක්තිදායක සටන් ලක්‍ෂ ගණනකගේ දායකත්වයෙන් කළත් තනි පුද්ගලයකුගේ සාක්කුවට දමාගත් ඉතිහාසයක් අපි වීර කාව්‍යයන් තුළින් දැකලා තියනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඉතිහාසය නැවත නැවත පුනරුප්පත්තිය ලබමින් තියෙනවා.

ඉතිං අතීත අත්දැකීම් කියවමින් අත් නලලේ තියාගෙන මූණ උඩට හරවාගෙන වීරයා එනකං බලා‍ගෙන ඉන්න මිනිස්සු වෙනුවට අත් මිට මොලවාගෙන දෙපයින් හිටගෙන හිස කෙළින් තබාගෙන ජීවත් වෙන මිනිස්සු ධෛර්යය අරගෙන වීරයො වෙන්න හදන මිනිස්සු තමයි අපට දැන් වැදගත්. මේ නිමේෂය ඒ සඳහා...

"ඉගෙන ගනිල්ලා වීරයන්ගෙන්
ජීවත් වෙයල්ලා විරයෝ වගේ"
මේ system එකේ වීරයෙක් විදියට නෙවි
මේ system එක වෙනස් කරන වීරයෙක් වගේ

Wednesday, December 28, 2011

විප්ලවය

කළත් නුඹ විප්ලවය
නිදිවරන කම්කරු ජනතාව
වෙනුවෙන්
ලබා දිය හැකිද
ඔවුන් පතන ‘අයිතිය‘

කළත් නුඹ විප්ලවය
මුළුමහත් නිර්ධන පංතිය
වෙනුවෙන්
ලබා දිය හැකිද
ඔවුන් පතන ‘නිදහස‘

කළත් නුඹ විප්ලවය
ධනේෂ්වර ඒකාධිපත්‍යයට එරෙහිව,
දිය කළ හැකිද
ඔවුන්ගේ බලය
නිර්ධනයන්ට එරෙහිව නැගූ

එහෙත් දිනෙක වේය,
අපගේ අයිතිය, නිදහස
නුඹ කළ විප්ලවයේ ප්‍රතිඵල.....

නුඹ..... විප්ලවයට ජය......!

Sunday, December 25, 2011

සැබෑ ජවිපෙ සාමාජිකයාගේ හෘද සාක්ෂිය ඉදිරියේ මේ සමුළුව වලංගු නැත -ජවිපෙන් වෙන්වූ කණ්ඩායමෙන් චෝදනා-----------------------

(ලංකා ඊ නිව්ස් -2011.දෙසැ.25, පෙ.ව.11.30) ජවිපෙ විශේෂ මහ සමුළුව ජනවාරි 1 දා ජනතා විමුක්ති පෙරමුණේ නිල පාර්ශවය සමග තවදුරටත් සිටින සාමාජිකත්වයට දැන් නිශ්චිතවම තෝරා බේරා ගැනීමට දෙයක් තිබේ. ඒ තමන් තවදුරටත් දේශපාලනය කරන්නේ කුමන පාර්ශවය සමගද යන්නයි. මෙහිදි අපේ අවධානය යොමු වන්නේ ජවිපෙ නමට ආකර්ෂණය වී සිටින, සමහර විට පක්ෂයේ කටයුතු වලට එතරම් දායක නොවූ, එහෙත් එහි නමත් සමග බැඳුනු අභිමානයේ තමන්ද කොටස්කරුවන් බව පෙන්වීමට ඒ සමග සිටින අය නොව, නිවැරදි කවුරුන්ද යන්න තෝරා ගැනීමට ඒ ඒ පාර්ශවයන්හි ක්‍රියාකලාපය දෙස බලාසිටින ඒ සඳහා කල් ගනිමින් සිටින පිරිස වෙතයි.

ඒ සඳහා අපේ අවධානයට ලක් වන්නේ,

• වෛරය හා යම් යම් දේ අත්පත් කර ගැනීම සඳහා තමන් හා වැඩකල සාමාජිකත්වයට විවිධ අවස්ථාවන් වලදී නිල පාර්ෂවය වෙනුවෙන් පහරදීම. මෙය කොතරම් නිර්ලජ්ජිතද? යන්න වග,

• නිල(ධාරී) පාර්ෂවය ලලිත් හා කුගන් සොයුරන්ගේ අතුරුදහන් වීම සම්බන්දයෙන් දින ගනනාවක් පමාවී නිකුත් කල නිවේදනයට පමනක් සීමාවී සිටීම හා ඒ පිළිබඳ වෙනත් කිසිදු කි්‍රියාමාර්ගයක් නොගැනීම. මෙය සාධාරණීයකරණය කරන්නේ කෙසේද? යන්න වග,

• ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම් කරු ධම්මික මුණසිංහ සොයුරාට අමානුෂික ලෙස පහරදී මරණීය තුවාල සිදු කිරීම. කරුණු පැහැදිලි කිරීමෙන් සංවාදයෙන් කෙනෙකු දිනාගන්නට බැරි වන විට මෙලෙස ක්‍රියා කිරීම.

(පංති සගයන්ට පහරදීම) සුදුසුයැයි ඔබ අනුමත කරනවාද? යන්න වග,

• පක්ෂයේ ඇත්ත සාමාජිකත්වය ඉල්ලු විශේෂ සමුළුව වෙනුවට යූඇන්පී වර්ගයේ විශේෂ මහ සමුළුවක් පැවැත්වීමෙන් ගනුලබන තීරණ ඔබ පිළිගන්නවාද? යන්න වග,
මෙම ප්‍රශ්න වලට පිලිතුරු සොයා ගැනීමට පෙර මෙහි පසුබිම මදක් විමසා බලමු.

මෑතකදී පක්ෂය තුල හටගත් ඛෙදීම සිදුවූයේ 2011 පෙබරවාරි මස පැවැත්වූ සමුළුවේදී සාමාජිකත්වයෙන් අති බහුතරය විසින් සම්මත කල වැඩපිළිවෙල වෙනුවට ක්‍රියාත්මක තලයේදී පක්ෂයේ නිල(ධාරී) පාර්ෂවය විසින් ඊට තම දායකත්වය ලබා නොදීම විසිනි. මෙය 1994න් පසු පක්ෂය නැවත ගොඩ නැගීමේ සිටම පක්ෂය තුල තිබුනාවූ ලක්ෂණයකි.

විශේෂයෙන් 2004න් පසු සංසෝධනවාදය වෙනුවෙන් පෙනීසිටි අයගේ මතය බහුතර මතය නොවූ සෑම විටම මතුවුනාවූ ප්‍රවනතාවයකි. 2004 සිට 2010 දක්වාම ඔවුන්ගේ මතය සුලූතර මතය වූ හැමවිටම එයට අවනත නොවෙමින් ඒ මතයන් වෙනස් කරමින් ක්‍රියාකිරීමේ ලක්ෂණ පැවතිනි. හැබැයි සංසෝධනවාදී මතයට වෙනස් මතයන් දැරූ පක්ෂයේ අනෙක් පිරිස් අතරින් ඔවුන්ගේ මතය සුලූතරය වූ කිසිදු අවස්ථාවක පක්ෂයේ කකුලෙන් ඇදීම, පක්ෂයෙන් ඉවත්වීම හෝ තම මතය බහුතර මතය බවට පත්තර ගැනීමට කුමන්ත්‍රණ කිරීම කලේ නැත. එහෙත් ඒ කාලය තුල යම් යම් තීරනාත්මක තීරණ ගැනීමේදී සංසෝධනවාදීන් සුලූතරය වූ සෑම අවස්ථාවකම බහුතර මතය පිළිගෙන වැඩකරනවා වෙනුවට ඊට පටහැනිව ක්‍රියාත්මක වී ඇත. උදාහරණ ලෙස

• 2005 ජනපති වරණයෙන් පසු එළැඹි පලාත්පාලන මැතිවරණය පක්ෂය තනිව තර`ග කිරීමට ගත් තීරණයට එරෙහිව එවකට දේශපාලන මණ්ඩල සභික නන්දන ගුණතිලක පක්ෂයෙන් යෑම.

• 2005 ජනාධිපති වරණයෙන් පසු ආණ්ඩුවට එකතුවීමේ තීරණය පක්ෂය තුල බහුතරය බවට පත්කර ගැනීමට ගත් උත්සාහය වැලකීම නිසා විමල් වීරවංශ කණ්ඩායමක් ගෙන වෙනම පක්ෂයක් සාදාගෙන ආණ්ඩුවට එක්වීම. එහිදී එවැනි යෝජනාවක් පක්ෂ නායකත්වයද කර තිබූ බව හෙළිකර තිබීම. නිල පාර්ෂවයේ තවත් දේශපාලන මණ්ඩල සභිකයෙක් ඒ සමගම වැඩ නවතා පක්ෂයෙන් යෑම හා පසුව කැඳවාගෙන ඒම.

• 2010 ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී එවැනිම තවත් නිල පාර්ෂවයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් බහුතර මතයට පටහැනිව තම බලය පාවිච්චි කිරීම.

2010 අප්‍රේල් මහ මැතිවරණයේදීද එවැනිම බලහත්කාරයක් පාවිච්චි කිරීම.

• 2010 අප්‍රේල් මහ මැතිවරණයෙන් පසු එහි ප්‍රතිපල වලට අදාලව ජයග්‍රහණය කර නොතිබූ තවත් දේශපාලන මණ්ඩල සභිකයෙක් මැතිවරණ පරාජය නිසා එහි සාමාජිකත්වයෙන් ඉවත් වීම.

ඒ ආකාරයට මෑත ඉතිහාසය තුල වම වෙනුවෙන් නොව සංධාන හා සභාග දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි මොවුන් තම මතය පරාජය වූ හැම විටම හැසිරී ඇත්තේ මෙවැනි අත්තනෝමතික ආකාරයටය. මෙවර සිදුව තිඛෙන්නේත් එහිම දිගුවකි. එනම් තම මතය කෙසේ හෝ ජයග්‍රහණය කරවීමයි. ඒ සඳහා කල් යල් බලමින් සිට, සමුළුවේ සම්මත වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා තම නිල බලය පාවිච්චි කර, එයට උරදෙමින් සිටි පිරිස එළවා දැමීමට කටයුතු කිරීමයි. එය කලේ පැවති සාමාජිකයින් 12 දෙනාගේ දේශපාලන මණ්ඩලය විසුරුවා හැර ඒ වෙනුවට සාමාජිකයින් 8 කින් යුත් නව දේශපාලන මණ්ඩලයක් පත්කර ගැනීමත්, එය පැරණි 8 දෙනාගෙන්ම සමන්විත වීමත් තුලය.

ඒ ක්‍රියාමාර්ගයත් සමග කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ අරමුණ පැහැදිළිය. එහෙත් එම උත්සහය තුලින් තම අරමුණු ඉටු කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ දේශපාලන මණ්ඩලයට පහලින් ඇති දිස්ත්‍රික් සංවිධාන ඇතුලූ සෙසු සංවිධාන බහුතරයක් විසින් එම ක්‍රියාවලිය ප්‍රශ්න කිරීම නිසාය. ඒ අනුව නව දේශපාලන මණ්ඩලයට සෙසු සංවිධාන කැඳවීමට නොහැකි වීම විසින් පක්ෂයේ අර්බුදය නිර්මාණය විය. එම අර්බුදය වහා විසඳා ගැනීම සඳහා පක්ෂයේ අභ්‍යන්තර සම්මේලනය කැඳවන ලෙස එහි බහුතර සාමාජිකත්වය සිය අත්සන් යොදා කල ඉල්ලීම ඊල`ග පියවර වූ අතර පක්ෂයේ නිල(ධාරී) පාර්ෂවය එය ඉක්මනින් නොකැඳවා ඒ සඳහා මාස ගනනක් කල් ඉල්ලීම මෙම අර්බුදය දිග් ගැස්සෙන්නට හේතු විය. එසේ කල් ගනිමින් ඒ අතරතුර මෙය කණ්ඩායම් ප්‍රවනතාවයක්ය, නැති නම් කල්ලි වාදයක්ය යන්න සාමාජිකත්වයට ඒත්තු ගන්වා තමන්ට රිසිසේ බලය තහවුරු කර ගැනීම මොවුන්ගේ ඊල`ග අරමුණ වූ බව පැහැදිලිය?.

ඒ සඳහා මාධ්‍යයන්ට මෙම අර්බුදය පිළිබඳ තොරතුරු ලබා දෙමින්, කල්ලිය මේ යැයි නම් කර සාමාජිකත්වය ලවා ඔවුන් ප්‍රතික්ෂේප කරවීමේ ඔවුන්ගේ එම කුමන්ත්‍රණකාරී උත්සහයද ව්‍යර්තවූයේ ඒ වන විටත් බහුතර සාමාජිකත්වය සිදුවෙමින් තිඛෙන දේ තේරුම් ගෙන සිටි නිසාවෙනි.

එයින් පසු පක්ෂයේ කිසිදු සංවිධානයක් කැඳවා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇත. මේ මොහොතේ පවතින්නේද එම තත්වයයි. ඒ නිසා පක්ෂයක් ලෙස ඉදිරියට යන්නට නම් මධ්‍යම කාරක සභාවක් පත්කල යුතුය. එයින් දේශපාලන මණ්ඩලයකුත්, එහි මූලිකත්වයෙන් සෙසු සංවිධානත් ගොඩනැගිය යුතුය. මෙය සිදුවිය යුත්තේ ඇත්ත සම්මේළනයක් කැඳවීම මගිනි.

එහෙත් දැන් සිදුවීමට යන්නේ වෙනත් දෙයකි. පැහැදිලිවම ගේම් ගැහිල්ලකි. ඇත්ත සම්මේළනය වෙනුවට වෙනත් එකක් භාවිතා කිරීම පලමු කුමණ්ත්‍රණය වන අතර එම ලැයිස්තුවට අලූතින් නම් එකතු කිරීමද දෙවන කුමන්ත්‍රණයයි. කෙටියෙන් කියන්නේ නම් මේ කැඳවන්නට යන්නේ යූඇන්පී වර්ගයේ මහ සමුළුවකි. ඇත්ත සාමාජිකයින් වෙනුවට තමන්ට පක්ෂපාතී මෙතෙක් සමුළු සාමාජිකත්වය නොතිබූ බොරු සාමාජිකයින්ගෙන් යුත් සමුළුවකි.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත භාවිතාව නොවේ. එයින්ම මේ නිළධාරී පාර්ෂවය තමන්ගේ පරාජය පිළිගෙන හමාරය. ඇත්ත සාමාජිකත්වයට මුහුණ දෙනවා වෙනුවට බොරු සමුළුවක් කැඳවීම එම පරාජයයි. ඒ විතරක් නොව මෙසේ ජවිපෙ සැබෑ සාමාජිකත්වයෙන් තොරව පවත්වන සමුළුවකින් තෝරා ගැනෙන මධ්‍යම කාරක සභාව ජවිපෙ මධ්‍යම කාරක සභාව වන්නේද නැත. එය ජවිපෙ වෙනුවට වෙනත් එකකි.

එය සිදුකරන්නට යන ආකාරය තුලද මොවුන්ගේ බංකොලොත් කම ප්‍රදර්ශනය වේ. එනම් උසාවි නිවාඩු ගොස් තිඛෙන මොහොතක තමන්ට වඩාත් ආරක්ෂාකාරී යැයි සිතන තැනකට ගොස් සමුළුව පැවැත්වීමයි. ඒ සමහරවිට මෙම සමුළුවට එරෙහිව අනෙකුත් පාර්ෂවය උසාවිගොස් වාරණ නියෝගයක් ගනී යැයි බියෙන් විය යුතුය. ඒ තුලින්ද මොවුන්ගේ මෙම සමුළු කැඳවීම වංචාවක් බව මොවුන්ම පිළිගෙන තිබේ. මෙය නිවැරදි සමුළුවක් නම් කිසිවකුට ඊට එරෙහිව වාරණ නියෝග ගත නොහැක. මේ අනුව තවදුරටත් දෙගෙඩියාවක් ඉතිරිවී නැත.

නීතිය ඉදිරියේ මේවා වලංගු වුවත් තම හෘද සාක්ෂිය ඉදිරියේ සහ සැබෑ ජවිපෙ සාමාජිකයා ඉදිරියේ මෙය වලංගු නැත. මේ සියලූ ක්‍රියාමාර්ග වලින් මේ නිලධාරී කණ්ඩායම සිදුකරන්නේ මිනිසුන් දහස් ගනනක් දිවිපුදා රැකගත් පක්ෂයට බරපතල හානියකි. ඒ සියල්ල සිදු කරන්නේ සංසෝදන වාදයට වැටුන ඔවුන්ගේ නිලතල රැකගැනීම වෙනුවෙන් වීම අභාග්‍යකි.

මෙය පැහැදිලිවම අපරාධයකි. එමෙන්ම ද්‍රෝහි කමකි. ඒ අපරාධයට වග කිව යුත්තේ වෙන කිසිවකුත් නොව මේ තනතුරු ලෝබී නිලධාරී කල්ලියයි. ඉතිං සාමාජිකත්වය දැන් තීරණය කල යුත්තේ මේ අපරාධයට මොවුන්ට ඉඩදෙනවාද? නැතිනම් සැබෑ පක්ෂය වටා පෙළගැසෙමින් මේ අපරාධ සිදුකරමින් සිටින ද්‍රෝහී කල්ලිය පන්නා දමනවාද? යන්නයි.
වෙනුර බාලසූරිය විසිනි
(උපුටා ගැනීම  ලංකා ඊ නිව්ස් වෙතිනි) 

Wednesday, December 21, 2011

ස්ත්‍රිය

ඇය අවශ්‍ය වන්නේ යහන් ගතවීමටය. ඇය අවශ්‍ය වන්නේ තමන්ගේ දේපල බාර දීමට සුදුසු අයෙකු බිහි කරවා ගැනීමට‍ය. ඇය අවශ්‍ය වන්නේ කුස්සියේ අඩුපාඩු මගහරවා ගැනීමටය. ඇය අවශ්‍ය වන්නේ මැතිවරණ වේදිකා වල සිහින මවන්නන්ගේ "ඡන්ද" නමැති අස්වැන්න නෙලීමටය. වත්මන් සමාජයේ ස්ත්‍රියගේ අස්ථානය එවැන්නකි. එය වමටද, දකුණටද එකසේ පොදුය. එසේ නම් ඇය දේශපාලනික කිරීම දේශපාලනය කළවුන් මගහැර ඇත.

ඇත්තෙන්ම කැරළි ගැසීමට, අරගල කිරීමට ඇයට අයිතියක් නැද්ද? ඇයට ‍දේශපාලනය කිරීමට අයිතියක් නැද්ද? මේ වර්තමානයේ සමාජ ව්‍යාපාර‍යක් ඉදිරියේ පවතින බරපතල ගැටළුවක් බව අපේ විශ්වාසයයි. ස්ත්‍රියකගේ අදේශපාලනික ජීවිතය දේශපාලනික වංචාකරුවන්ගේ commision එකට යටත් විය. විශේෂයෙන්ම පසුගිය සමයේ වමේ වේදිකාවේ ඇය සිටියේම නැත. අපට කල්පනා වන විදියට පුරුෂ මූලික සමාජයේ බලපෑම එබඳුය. පුරුෂ මූලික සමාජ මනෝභාවය පසුගිය සමය පුරා වමද ආක්‍රමණය කර තිබිණි.

අද ලංකාවට ආදායම් උපයන මාර්ග අතුරින් වැඩිම ආදායම් උපයන මාර්ග වන්නේ විදේශ සේවා හා ඇඟළුම්ය. තවද ගෘහ‍ සේවය තුළ ආර්ථික ගණන් බැලීමක් ඇත්තේම නැත. එසේ හෙයින් සමාජය ඇය අත්හැර ඇත. ස්ත්‍රිය තවමත් සමාජයේ දේශපාලනික සාධකයක් බවට පත්ව නැත. ස්ත්‍රිය උත්කර්ෂයට නංවන්නේ ලිංගිකත්වය තුළ මිස ඇයගේ ස්ත්‍රීත්වය තුළ පැන නැංවූ දේශපාලනික භාවිතාවන් මත නො‍වේ.

එසේ හෙයින් වමට පැවරෙන ඓතිහාසික කාර්යභාරයක් ඇත. දේශපාලනික ගොඩනැංවීමෙන් විතැන් වූ ස්ත්‍රිය නැවත දේශපාලනික කිරීම අද දවසේ වමට පැවරෙන ප්‍රමුඛතම කාර්යභාරයක් වනු ඇත. සමාජ විමුක්තිය යනු පිරිමියාගේ විමුක්තිය පමණක් නොවන නිසා ඇය පිළිබඳ වූ දේශපාලන සංවාදයක් අවැසිය. ඒ සමගම ඇය සමාජයේ දෙවැන්නිය බවට පත්වීම වැළැක්විය යුතුය. දේශපාලනික ක්‍රියාකාරීන්ගේ මෙන්ම දේශපාලනික ව්‍යාපාරයන්ගේද චලනයන්ය ඍජුවම බලපෑ ස්ත්‍රිය නිර්මාණශීලී සමාජයක් බිහි කිරීම උදෙසා සංවිධානය කිරීම නව වමේ දේශපාලන ව්‍යාපාරයට වහ වහා අවැසිය.

ඒක තමයි අරගලය‍

සමාජය දෙනෙත් අයා බලා සිටි දෙසැම්බර් 13 දැන් නික්ම ගොසිනි. ලංකා දේශපාලනයට තවත් නැවුම් දේශපාලන ව්‍යාපාරයක් ප්‍රසූත කර හමාරය. පුරා වසර ගණනාවක් විළිරුදාවෙන් පසුව වමේ මිනිසෙකු බිහි කළ දේශපාලන ව්‍යාපාරයක් දැන් අප හමුවේ ක්‍රියාත්මකව පවතී. එහි ප්‍රකාශකයෙක් පැවසුවේ දකුණු ආසියාවේ අරගල අනුඛණ්ඩය මෙන්ම ආසියාවේ සමාජවාදයේ ආශ්චර්යය ලංකාවෙන් බිහි කරන බවකි. සිංහල දෙමළ මුස්ලිම් සැබෑ සහෝදරත්වයක මිනිස් බැඳියාවක් එදින හයිඩ් පිටියේ වේදිකාව මත පිළිබිඹු විය. එය ව්‍යාපාරයක් නොව සැබෑවක් බව එහි පැමිණි අතිවිශාල සෙනගකින් සනාථ කෙ‍රිණි.

එක් පැත්තකින් ‍ගොවියා තමා‍ගේ අයිතිය වෙනුවෙන් දඹුල්ල, තඹුත්තේගම, මැනිං මාර්කට්, මීගොඩ ආදී ප්‍රදේශ වල සටන් කරමින් සිටී. අනෙක් පැත්තෙන් ශිෂ්‍යයා තමන්‍ට එරෙහි වුණු බැටන් පොලු, කඳුළු ගෑස්, සිර මැදිරි සමග යා වෙමින් අධ්‍යාපන පෞද්ගලීකරණය ක්‍රියාත්මක කරන පාලකයින්ට එරෙහිව සටන් කරමින් සිටී. ලක්‍ෂ 15 කට අධික රැකියා විරහිත තරුණ පිරිසක් තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරමින් සිටී. රටේ බහුතරය වූ කාන්තාව සමාජයේ තමන්ට හිමි නිසි තැන වෙනුවෙන් සටන් පෙරමුණට පැමිණෙමින් සිටී.

දැන් සිදුවිය යුත්තේ මේ සියලු සටන් ඒකාබද්ධ කිරීමය. මේ සියලු අරගල එක් තැනකට කේන්ද්‍රගත කිරීමකි. එක් තැනකින් අරගලයේ කුළු පහර මුදා හැරීමය. හුදකලා සටන් සියයකට වඩා ඒකාබද්ධ එක් අරගලයකින් මහා කුළුණු වුවත් බිඳ හෙළිය හැකි බව නොකිවමනාය. එසේ නම් දකුණේ සිටින පීඩිතයා මෙන්ම උතුරේ සිටින පීඩිතයාද විඩාවට පත් කර ඇති ක්‍රමයේ වෙනසක් පිළිබඳ ඉදිරියේ දහසක් බලා‍පොරොත්තු තබා ගෙන මෙරට ජනතාව තමන්ගේ සැබෑ දියසෙන් කුමරු, විමුක්තිදායකයා ප්‍රතිඋට්ඨානය වනතුරු බලා සිටී.



පෙර දවසක සිට
වීදිය අරක්ගෙන
කැණහිලුන්.....
හෙට අකුරු කරන පුතුනේ
ගමන් ඇරඹිය යුතුය
"අ"යන්නෙන්
අරගලයේ.....
වීදිය අයිති තොපටය.....
(උපුටා ගැනීමකි)

Tuesday, December 20, 2011

We are the 99%

සාතිශය සමාජය වල්මත් වී ඇති බව කිරිගරුඬ මෙන් පැහැදිලිය. වල්මත් වූවන් සොයා ඔවුන්ව සංවිධානය කර ගත හැකි නම් එය අද දවසේ වටිනාම කාර්යය වන්නේ යයි අපට සිතෙන්නේ ඇඟේ අමාරුවකට නොවේ. එහෙත් මේ සදහා මූලික විය යුත්තේ කවුද? ග‍්‍රාමීයව සමෘද්ධි සමිතිය, මරණාධාර සමිති මෙන්ම මහිලා සමිති, යොවුන් සමාජ ඇති පදමට ඇත. එහෙත් ඒ සියල්ලක්ම එක් නිශ්චිත කාරණා වෙනුවෙන් පමණක් නිර්මාණය වී ඇති වන්නාක් සේම, සමහරක් පාලකයන්ගේ න්‍යාය පත‍්‍රයට පමණක් සෑදුනු ඒවා වී ඇත. එසේ නම් මේ කාර්යය ඔවුන්ට කළ හැකිද? එය කළ හැක්කේ දේශපාලනය කරන වුන්ට පමණක් බව අපේ වැටහීමයි. විශේෂයෙන්ම විකල්ප දේශපාලන දහරාවකට වත්මන් සමාජයේ පවතින රික්තය අති විශාලය. එය පිරවීමට මෙතෙන් කිසිදු කණ්ඩායමකට හැකි වී නොමැති බවද මෙවෙලේම සටහන් කර තැබිය යුතුය.


රාජපක්ෂ රෙජිමය තුළ හිස උදුම්මාගත් සට්ටමිරාළලා මුලු මහත් සමාජයම ආශ්චර්යෙන් කලඹවමින් ඇත. ආශ්චර්යයේ පිවිසුම් විජරාමාන වූයේ මෙරට දුක් විඳින වල්මත් වූවන් සදහා නොව පැයට සැතපුම් සියයක වේගයෙන් යා හැකිවුන්ට පමණි. ඇස්ටන් මාටින්, ලිමෝසින්, රෝල්ස් රොයිස් වැනි වාහන ඇත්තවුන්ට පමණි. ඔවුන්ට සිහින නිර්මාණය කළ හැකිය. සාතිශය බහුතරයක් සිහින පසු පස දිව යා හැක. එවිට තව තවත් ඔවුන්ට ආශ්චර්යයේ මාවත් ඉදි කර දිය හැකිය. ඉදින් මේ වත්මන් හෝමොතියෙන් ගැලවී යා යුතුය.


එස සිදු කළ හැත්තේ හුදෙක් ආණ්ඩු විරෝධයකට පමණක් නොවේ. 13 ට එරෙහිව, 17 ට, 18 ට එරෙහිව සහන නැති සිහින ඇති අයවැයක් ගැන පවසමින් ඊට එරෙහිව බලය බෙදීමකට එරෙහිව, හුදෙක් වියුක්ත කාරණාවලට එරෙහිව වියුක්ත අරගල මතුකරමින් පමණක් වත්මන් රෙජිමයන් අතු ගා දැමිය නොහැක. එය ආණ්ඩු විරෝධි වනවා වෙනුවට ක‍්‍රම විරෝධි වෙමින් රාජපක්ෂ රෙජිමය වෙනුවට මුලු මහත් ක‍්‍රමයේ බිඳ වැටීමක් වෙනුවෙන් පෙරමුණ ගන්නා ව්‍යාපාරයකට පමණක් මෙය ජයග‍්‍රහණය කළ හැක. පසුගිය දා Wall Street තුළින් දුටු ජනතා සංකේත හෙට දිනයේ ලාංකීය සමාජයේ අනාගත අස්වැන්නක් උදෙසා රෝපණය නොවන්නේ යයි පැවසිය හැක්කේ කාටද?


එහෙයින් සියල්ල වෙනස් විය යුතුය. වත්මන් දේශපාලන තත්වයන් විසින් ඉල්ලා සිටින්නේ එවැන්නක් බව අපගේ වැටහීමය. අප සමාජයේ සියලු දේශපාලන ව්‍යාපාරයන් පැරණි වී ඉපැරණි වී ඇත. මේ කිසිවකට කිසිවක් කළ නොහැක. සුදු වාග්පාඨ වල පුණුරුච්ජාරණය තුළ ස්වයං වින්දනයක යෙදීමට ඔවුනට හැකිය. ඔවුන්ගේ පම්පෝරි ඔවුන්ටම සති අන්තයේදී කියවා ගැනීමට ඇති තරම් පත්තර පිටු සොයා ගත හැකිය.


එහෙත් සමාජය දෑස් දල්වා සිටින්නේ ස්වයං වින්දනයක යෙදීමට නොවන බව පැහැදිලිය. එසේ නම් එය කළ හැක්කේ බහුතරයේ සංවිධානය වීම තුළ හා නව පන්නයේ සමාජ ව්‍යාපාරයකටම පමණි. එය කළ යුතුයි.

Wednesday, December 14, 2011

වල්මත්වූවෝ

මීට දශක කිහිපයකට පෙර සිංහල සිනමා වංශකථාවේ පිටු අතරට එක් වූ එක්තරා ජනප්‍රිය චිත්‍රප‍‍ටයක් ලෙස "වල්මත්වූවෝ" හඳුනාගත් අප අද එවන් සිනමාවක් ගොඩනැගෙන්නේ නැතත් මුළු මහත් සමාජයම "වල්මත්වූවන්" ලෙස හඳුනාගත හැක.

සියල්ලම පැටලී සියලු දෙනාම පැටලී ඇත. පැටලි පැටලී ජීවිතය ලෙහා දමන්නේ යැයි කියමින් තව තවත් පටලා ගනිමින් සිටී. පොඩි එකා පාසල් යන්නේ ඉගෙන ගන්නටය. මා පිය බලා‍පොරොත්තුව හොඳ එකෙකු කිරීමටය. ඒ සමග සමාජය සමග පටලා ගන්නා මාපියන් කෙසේ‍ හෝ තම දරුවන් පැටලීමෙන් වළක්වා ගැනීමට පොරකති. ඔවුන්ට උගන්වති. රස්සා සොයා දෙති. රස්සා හොයාගන්නා දරුවා සල්ලිද හොයාගනී. පැටලීමෙන් බේරීමට එකම විසඳුම මුදල්ය. පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් එසේත් නැත්නම් ගෙදරින්, සමාජයෙන් නිතරම කීවේ රැකියාවක් කරන්නටය. රැකියාව කරන්නේ මුදල් සෙවීමටය. මුදල් අවශ්‍ය හොඳ ආතල් ජීවිතයක් ගත කිරීමටය. ඉතින් වසර ගණනක් මුදල් වියදම් කරමින් අධ්‍යාපනය ගෙන නැවත මුදල් සොයා ආතල් එකේ සිටී. අන්තිමේදී ආතල් ‍එකේ සිටීමට වසර ගණනාවක් වැය කොට හමාරය. ඇත්තටම අවසාන ඉලක්කය මුදල් සෙවීම නම්, නිදහසේ ආතල් ජීවිතයක් ගත කිරීම නම් වසර ගණනාවක් අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රතිඵලයක් ඇත්ද? අධ්‍යාපනය නැතත් මුදල් සෙවිය නොහැකිද? ඒ සඳහා විශ්ව විද්‍යාල, A/L, O/L අවශ්‍යමද? මාර්ටින් වික්‍රමසිංහලා, මක්සිම් ගෝර්කිලා වැනි ලොව ප්‍රකට පුද්ගලයන් පාසල් ගියේ 2ට, 3ටය. සමාජය තව තවත් සංකීර්ණත්වයට වැටෙමින් වල්මත් වෙමින් තිබේ.

රැකියාව කරන කෙනාද රැකියාව කරන්නේ තෘප්තිමත්ව ද යන්න ගැටළුවකි. අවශ්‍ය මුදල්ය. මුදල් සෙවීමට නොකරනා ඉටි ගෙඩියක් නැත. කොළඹ, අනුරාධපුර, යාපනය, වව්නියාව, මාතර, හැටන් මේ කොහේ හිටියත් මොනවා කළත් හොයන්නේ මුදල්ය. අවුරුදු 20 ක් හිටියත්, 50 ක් හිටියත්, 75 ක් හිටියත් කර ඇති ප්‍රධාන වැඩේ මුදල් සෙවීමය. අනුරාධපුර පදිංචි එහෙත් කොළඹ රැකියාව කරන කෙනෙකු රැකියාවට තම නිවසේ සිටම යන්නේ නම් නිවසින් පිටවිය යුත්තේ පාන්දර 3.00 ට පමණය. ඔහු 3.00 ට පිටත්වීමට 2.00 ට අවදි විය යුතුය. නැවත ආපසු ඒමට 5.00 ට පිටත් වුවද නිවසට එනවිට රාත්‍රී 10.00 වත් වනු ඇත. ඔහුගේ මුළු ජීවිතවම හෙම්බත් වී ඇත. එක් දිනක් රාජකාරියට යන ඔහු ඊළඟ දිනයේ පිටත්වන්නේ ඔහුගේ කරුමයට, දෛවයට ඔහුව භාර කරමිනි. ඔහු ළඟ තෘප්තිය වෙනුවට ඇත්තේ විඳවීම පමණකි. රැකියාවේ වැටුප් ලැබෙන්නේ 8 - 5 සේවයට පමණි. එසේ හෙයින් පාන්දර 2.00 සිට ඔහු රැකියාව වෙනුවෙන් කරන කැපවීමට පාලනාධිකාරිය මුදල් ගෙවන්නේ ද නැත. ඔහුට හිමිවන සහනයක් ද නැත.

මේ පටලැවිල්ල චක්‍රීයය. පියාගෙන් පුතාට, පුතාගෙන් ඉදිරියට ලෙස මෙය චක්‍රීය වෙයි. රැකියා නොකිරිම හෝ අධ්‍යාපනයක් නොලැබීම මේ සඳහා එකම පිළියම යැයි අපි කිසිවිටෙකත් නොකියන්නෙමු. සොරකම් කිරීම, මංපැහැරීම,මිනීමැරීම් ද අපි ‍ප්‍රතික්‍ෂේප කරමු. Super Star, Dance Star වීම ද මීට ඇති එකම විසඳුම යැයි පැවසීමට තරම් අපි නිවට ද නොවන්නෙමු.

අවුරුදු ගණනාවක ඉතිහාසයේ අපට කොහේ හෝ වැරදී ඇති බව නම් නිසැකය. මුදල් යනුවෙන් අන්තර් මාධ්‍යයක් අප හඳුනාගත් දා සිට මෙම පටලැවිල්ලේ ආරම්භය ලියැවී ඇති බව ද නිසැකය. එකල භාණ්ඩ හුවමාරු ක්‍රමය ජීවිත අවුල් කළේ නැත. ජීවිත පටලැව්වේ ද නැත. එහෙත් අතෘප්තිමත් මිනිසා එකිනෙකා පරයාමේත්, අතිරික්ත ධනය ඉපැයීමේත් සිට මේ වියවුල ආරම්භ වන්නට ඇතැයි සිතිය හැක. එසේනම් අප කල්පනා කළ යුත්තේ කුමක්ද? මුදල් නම් අන්තර් මාධ්‍යය නැතිකොට නැවත භාණ්ඩ හුවමාරු ක්‍රමය වෙත යාමද? නැත. කිසිසේත්ම නැත. ලංකාවේ කෝටි 2 ක ජනතාවට ඇති ප්‍රධානතම ගැටළුව කුමක්දැයි ඇසුවොත් පිළිතුර වන්නේ ජීවිතය යන්නයි. මුදල් සොයන්නේ කෙසේද යන්නයි. අප හැමෝටම ‍පොදු වූ ගැටළුව මෙයයි. අප පොදු ගැටළු වලට පිළිතුරු සෙවිය යුත්තේ පොදු භාවයකිනි. එහෙත් අප එම පොදුකම අත්හැර ඇත. ඒ වෙනුවට ස්වාර්ථකාමී ලෙස සමාජයේ පැටලෙමින් අප අප‍ වෙනුවෙන් පමණක් පිළිතුරු සෙවීමට මහන්සි ගනී.

අප වල්මත් වී ඇත්තේ එතැනිනි. පොදු ගැටළුවට පිළිතුරු සෙවිය හැක්කේ පොදුකම තුළ පමණකි. එහෙයින් අප උත්සාහ ගත යුත්තේ වල්මත් වූවන් සොයා සංවිධානය කිරීමය. එය ගොවියාගේ සිට, කම්කරුවාගේ සිට, තරුණ, ශිෂ්‍ය මේ හැමෝටම පොදුය.

Saturday, December 10, 2011

සුවඳ මල් තිවංකය

je,s leg mjd .,ajk 
fï iS;, mdkaor
llshk w÷rlska ys; fldks;a;d
fk;a l< l÷,la
fldmq,a ;, isôkakg fuka yeÿjd ''''

weys;gq w.ska fífrk
f;;e;s iqiqul tiqjඳ 
kqUu j.
fï oekq;a oekqkd'''

lsisodl fkdje,,S ;sfnk
uyd is;=ú,s lkao u; uqÿfkau
kqUu yskeyS ys¢k j.
l¨.eyS ñhefok ys;gu
.=.=r .=.=rd ke.=kd'''''

l,aurd weúo hk ojia
y;aoyia kjish úiaila f.jd
f.fkk w¿;a br t<sh
kqUu j. is;=kd ''''''''''''''

tfy;a th fkdfmkS
w÷re l¿jr .=,sfldg
ysi jidf.k je<fmk
fnod.;a t<sm;a; u;
ms<su¿ka ù ys¢k
mx;sfha i.hska
w.=ms,l foms,l
w÷r w;.d fidhk t<sjeg
kqUu muKla nj
lE .id lshkakg ne¨jd''''

Friday, December 9, 2011

අරගලය

රතු හා කළු පසුබිමක අරගලය නමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එකවර රටපුරා
පෝස්ටරයක් ඇලවී තිබුණි. 04 දා රාත්‍රී අලවා තිබූ එම පෝස්ටරය කුමක්, කවුරු, කා සඳහා
ඇලවූවක්දැයි අපි කිසිත් දැන නොසිටීමු. එහෙත් ආකර්ෂණීය පෝස්ටරයක් රටපුරා ඇලවී තිබුණි.
දැන් දැන් මාධ්‍ය වාර්තා පලවන ආකාරයට එය ජවිපෙ වාමාංශික ප්‍රවණතාවය විසින් අලවන ලද
බවත්, ඔවුන් විසින් දෙසැම්බර් 13 දින පැවැත්වීමට නියමිත රැස්වීමක් පිළිබඳව දැනුවත් කිරීම උදෙසා
අලවන ලද්දක් බවත් පැහැදිලිය. කරුණු සොයා බලන විට ඔවුන් විසින් දෙසැම්බර් 13 වන දින
වාමාංශික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද නියමිතව ඇති බව තහවුරු වී ඇත. ඒ සඳහා ඔවුන් පෝස්ටර්
ව්‍යාපාරයක්ද, කොළඹ දී හා යාපනයේ දී මාධ්‍ය සාකච්ඡා දෙකක් ද පැවැත්වීමට නියමිතව ඇති බවත්
දැනගන්නට ඇත.

කරුණු එසේ වුවත් මෙම ආරම්භය කුමක්ද? ඔවුන් අර්ථ දක්වන ආකාරයට මෙය වාමාංශික
මධ්‍යස්ථානයක් ලෙස අර්ථ ගන්වා ඇත්තේ මන්ද? මෙය තවත් දේශපාලන පක්‍ෂයක් ද? ජවිපෙ වෙනුවට
ඉන් ඉවත්ව නිර්මාණය කරන ලද නව දේශපාලන ව්‍යාපාරයක් නම් එහි ඉදිරි පැවැත්ම හා කාර්යභාරය
කෙසේ වනු ඇතිද? සමාජ පරිවර්තනයක් අවශ්‍ය බව කොන්දේසි විරහිත සත්‍යයකි. එය ඉටු කිරීමට මෙම
මධ්‍යස්ථානය සමත් වේද? එවිට ජවිපෙ කාර්යභාරය තවදුරටත් කෙසේ වනු ඇතිද? අප පමණක් නොව
මුලුමහත් රටත් ලෝකයත් එදෙස බලා සිටිනු ඇත.

ලාංකීය වමේ ව්‍යාපාරය ඛේදාන්විත තත්වයකට ඇද වැටී ඇති මොහොතක ධනේෂ්වර නියෝජිතයන්
වම්මුන් හා කරට අත දමා ගැනීමට තැත් දරනා මොහොතක මේ ආරම්භය කෙසේ වනු ඇතිද යන්න අප
හැම තුළ දඟලන ගැටළුව බවට පත් වී ඇත. කෙසේ වෙතත් සියලුම දේශපාලන ක්‍රියාකාරීන්, සමාජ
ක්‍රියාකාරීන් නව ඇරඹුමක් ගන්නා වත්මන් මොහොත තුළ ලාංකීය වමේ ව්‍යාපාරයද නව ඇරඹුමක් ගත
යුතුමය. සාතිශය පීඩිතයන් සංවිධානය කරන හා ඔවුන්ට නායකත්වය සපයන, අයෝමය විනයක් සහිත,
සමාජ ව්‍යාපාරයකට වත්මන් සමාජයේ රික්තයක් පවතී. අපි සියලු දෙනා එදෙස බලා සිටිමු. එළැඹෙන
13 වන දින රටේ අනාගතය විසඳනු ලබන, සමාජ සාධාරණත්වය උදෙසා සටන් වදින මිනිස් බැඳියාවක
ආරම්භක දිනය වනු ඇත්ද? ඒ සඳහා යමක් පැවසීමට දැන් කල් වැඩිය. අපි නිහඬවම බලා සිටිමු.

Wednesday, December 7, 2011

වමට සිග්නල් දමා දකුණට හැරවීම

මාර්ගයක වාහන භාවිතයේ දී අප දන්නා theoryයක් ඇත. ඒ නීත්‍යානුකූල ලෙස රිය පැදවීමයි. ඒ සඳහා බොහෝ නීතිමය මෙන්ම සදාචාරාත්මක කාරණා ද ඇතුළත්ය. එහෙත් බොහෝ අවස්ථාවලදී අප දකින්නේ මෙම කිසිදු බැඳීමක් අදාළ නොවන වාහන රියැදුරන් සිටින බවය. ඔවුන් අතින් සිදුවන රිය අනතුරු හේතුවෙන් කිසිත් නොදන්නා අසරණ මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක්‍ මේ වන විටත් අහිමි වී තිබේ.

මේ කාරණාව මුලින්ම සඳහන් කිරීමට සිත්වූයේ අද දවසේ සිදුවන දේශපාලන විචලනයන් දෙස විමර්ශනාත්මකව බැලූ විට තේරුම් ගත හැකි ජුගුප්සාජනක කාරණා හේතුවෙනි. වත්මන් ජාතික මෙන්ම ජාත්‍යන්තරව සිදුවන දේශපාලන විචලනයන් වල නිවැරදි සමත් ව්‍යාපාර නොමැති වීම හා නිවැරදි දැක්මක් සහිත ජනතාවක් නොමැති වීම හේතුවෙන් අයාලේ යමින් පවතී. ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ පසුවට කතා කිරීමේ අරමුණ සහිතව වත්මන් ලාංකීය දේශපාලන සන්දර්භය තේරුම් ගැනීමට උත්සාහ කරමු.

විශේෂයෙන්ම රාජපක්‍ෂ ආණ්ඩුව ඔවුන්ම පවසන පරිදි තමන්ගේ හොඳම කාලය ගත කරමින් සිටින අවධියක එජාපයේ සහ ජවිපෙ අර්බුද තේරුම් ගැනීම වැදගත් යැයි හැඟේ. පසුගිය දිනක එජාපයේ 68 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද ආණ්ඩුවට එක් විය. ජවිපෙද නැවත එක් නොවිය හැකි ලෙස බෙදී වෙන් වී ඇත. එය දෙකට බෙදී ඇතැයි කිවහොත් සැබැවින්ම වැරදිය. ලැබෙන තොරතුරු වලට අනුව ජවිපෙ වාමාංශික ප්‍රවණතාව සමග සාමාජියත්වයේ බහුතරයක් එකතු වී ඇතැයි පැවසේ. කෙසේ නමුදු අද ලාංකීය දේශපාලනය සාමාන්‍ය අයෙකුට තේරුම් ගැනීමට නොහැකි ලෙස ව්‍යාකූල වී තිබේ. එජාපයේ පරාජයත්, බෙදීම් තවත් කලකට පවතිනු ඇතැයි ඔවුන්ගේම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ආණ්ඩුවට එකතුවීමේ සූදානමක් ඇතැයිද, ඒ නිසාම රනිල් හා සජිත් පාර්ශව ලෙස බෙදීම තීව්‍ර වෙමින් පවතින බවද දැනගන්නට ඇත. පසුගිය දිනක හයිඩ් පිටියේ පැවැත්වූ උද්ඝෝෂණය හුදෙක්ම සජිත්ට එරෙහිව රනිල්ගේ බාහු බලය පෙන්වීමක් යැයි පැවසීම නිවැරදිය. එහිදී කිසිදු කථාවක් සජිත්ට නොදීමට රනිල් වග බලා ගත්තේය. මේ අනුව රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහි සටන ඔවුන්ගේ බාහු බලයන් පෙන්වා ගැනීමේ සටනක් බවට පත්ව ඇති බව නොරහසකි. එමෙන්ම ජවිපෙද වත්මන් දෙකෙහිම බලය පසුගියදා උරගා බැලුවේය. ඒ නොවැම්බර් 13 දින ඔවුන් විසින් පවත්වනු ලැබූ විරු සමරු දිනයේදීය. ජවිපෙ නිල පාර්ශවය විහාරමහා දේවී එළිමහන් පිටියේදී ද, වාමාංශික ප්‍රවණතාවය සුගතදාස ක්‍රීඩාපිටියේදී ද තම බලය ප්‍රදර්ශනය කළේය. එහිදී සමාන බලයක් දෙපාර්ශවයටම ඇතැයි පෙනුමෙන් සිතූවද එහි නිවැරදි ගණන් බැලීම් සමග වාමාංශික ප්‍රවණතාවය තමන්ගේ ශක්තිය ඕනවටත් වඩා පෙන්වා ඇති බව නොරහසකි.

කෙසේ වෙතත් වත්මන් ලාංකීය දේශපාලන මොහොත ඉල්ලා සිටින්නේ එකිනෙකා‍ගේ බලය ප්‍රදර්ශනය කරන හා තම පාක්‍ෂිකයන් 'චූන්' කරන ක්‍රීඩා පිටි හෝ ගොඩනැගිලි පිරවීම නොව සමස්ථ ක්‍රියාවලියේම වෙනසකි. එය හුදෙක් ආණ්ඩු විරෝධයක් නොවිය යුතුය. එය ක්‍රම විරෝධී බවට පත් විය යුතුය. එය රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කරනවා වෙනුවට සමස්ථ ක්‍රමයම පරාජය කරන්නක් බවට පත් විය යුතුය. එහිදී වාමාංශික සංවිධානයක ක්‍රියාකාරිත්වය බෙහෙවින් වැදගත්ය. අපි දැනට හඳුනාගෙන සිටින වමේ කණ්ඩායම ජවිපෙ බව සමාජයම තහවුරු කරනු ලබයි.

එහෙත් පසුගියදා ඔවුන් විසින් ගන්නට යෙදුනු ක්‍රියාමාර්ග දෙස බැලූවිට ඔවුන්ගේ අස්ථානය 'වම' ද යැයි කුකුසක් පැන නගී. ජවිපෙ විසින් පැවැත්වූ තරුණ පාගමනකට පසුගිය දා ආණ්ඩුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විණි. එහි සහභාගී වූ පිරිස ගැන බැලූ විට පන්සීයකටත් වඩා අඩු ඉතා කුඩා කණ්ඩායමක් බව පැහැදිලිය. මේ මොහොතේ පවතින දේශපාලන අරාජිකත්වය ඉල්ලා සිටින්නේ සමස්ථ පීඩිත බලවේග වල සාමුහිකත්වයක අරගලයකි. එමෙන්ම ‍කොළඹට එක්රැස් විය යුත්තේ ලක්‍ෂයක් ‍මිස පන්සීයක් නොවේ. ලක්‍ෂයක් එක්කළ යුතු මොහොතක පන්සීයක් රැස්කොට රාජපක්‍ෂ ආණ්ඩුව ශක්තිමත්යැයි තහවුරු කිරිම ජවිපෙ විසින් කරන දේශපාලන තකතීරුකමකි. එපමණක් නොව මෙම පා ගමන එක්තරා රූපවාහිනී නාලිකාවක් සජීවී ලෙස විකාශනය ද කර ඇත. මේ දෙක අතර සම්බන්ධයක් ඇතිවීදැයි නොපෙනුනද මේ සියල්ල තුළ යටිපෙළක් ඇතැයි සිතිය හැක. එජාපය හයිඩ් පිටියේද ජවිපෙ කොළඹ කොටුවේද ලෙස තම දියවී යන බාහු බලය රැක ගැනීමට දැරූ උත්සාහයන් ලෙස මෙම සටන් පෙන්වා දිය හැක.

එපමණක් නොව ජවිපෙ අභ්‍යන්තර අර්බුද ද තව තවත් උග්‍ර වෙමින් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ජවිපෙ සමුළුවක් ජනවාරි මස දී කැඳවීමට යන බවත්, එහිදී නායක සහ ප්‍රධාන ලේකම් ධූරයේ වෙනසක් ඇති වන බවත් සඳහන්ය. ප්‍රධාන ලේකම් ධූරය සඳහා දැනට බිමල් රත්නායකගේ නම යෝජනා වී ඇති අතර, ඒ සඳහා දැනට බහුතරයකගේ විරෝධය එල්ල වී ඇති බවද සඳහන්ය. ඔහු දේශපාලන මණ්ඩල සභිකයෙකු නොවීමත්, දැනට දේශපාලන මණ්ඩලයේ සිටින ලාල්කාන්ත,අනුර, විජිත වැනි ජ්‍යෙෂ්ඨයන්ට තනතුරු නොලැබීමත් මෙයට හේතුවන බව ආරංචිය. බිමල් රත්නායකට මෙම ධූරය පිරිනැමුවහොත් එහි ප්‍රබලයෙක් ආණ්ඩුවට එකතුවීමට දැනටමත් සූදානම් බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අතර අනුර දිසානායක යෝජනා කර ඇත්තේ රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමට නම් විපක්‍ෂයක් ලෙස එකට එක්ව සටන් කළ යුතු බවයි. ඒ අනුව එජාපය සමග කරන හවුල් සටනක් ඔහු යෝජනා කර සිටී. නමුත් එයට‍ සෝමවංශ ටිල්වින් දෙදෙනා එකඟ වී නොමැත. ඊ‍ට එකම හේතුව වන්නේ දැනට ජවිපෙ වාමාංශික ප්‍රවණතාවයට ඒ හරහා සමාජයේත් පාක්‍ෂිකයා තුළත් නිවැරදි යැයි හැඟීමක් ලැබීමයි. ඒ අනුව ඔවුන්ගේ අර්බුදය සුළුපටු නොමැත. එළියට පෙන්වා ඇති සත්‍යය අභ්‍යන්තරයේ නැත. සමාජයට ඔවුන් වම යැයි කෑගැසුවද ඔවුන්ගේ වමක් නොමැති බව මේ සියල්ල හරහා අපට පැමිණිය හැකි නිගමනය වේ. ජවිපෙ වමට සිග්නල් දමා ඇත. එහෙත් ඔවුන් දකුණට හරවා ඇත. නො‍එසේ නම් තමන් වමට හරවන බව පමණක් සමාජයට පෙන්වමින් ඇත.

අපි ජවිපෙ දෙස වැඩියෙන් කථා කළේ මේ ක්‍රමයේ වෙනසක් අපි අපේක්‍ෂා කරන නිසාවෙනි. ජවිපෙ ඒ සඳහා පුරා වසර 46 ක් උත්සාහ කළ නිසාවෙනි. කෙසේ වෙතත් පීඩිත ජනතා අපේක්‍ෂා හුදෙක් සිහින බවටම පත් කරමින් සමාජ ක්‍රමයේ සංශෝධනවාදී ප්‍රවණතාවයක් බවට ජවිපෙද පත් වෙමින් ඇත.

දැන් සමාජය කළ යුත්තේ කුමක්ද? අපට අනුව නම් මෙම අර්බුදය විසඳීම පිණිස පළමුව කළ යුත්තේ නිර්මාණශීලී න්‍යායික ක්‍රියාකාරිත්වයකි. එමෙන්ම ලාංකීය වාමාංශික දේශපාලන සංවාදය සමාජගත කිරීමය. එහි ක්‍රියාකාරිත්වය සඳහා සමාජයේ බහුතරය දිනා ගැනීමය.

කෙසේ වෙතත් මේ මොහොතේ අපගේ මැදිහත්වීම වනාහී, වාමාංශික සංවාද ප්‍රතිජනනාත්මක ප්‍රතිඵල ඇති කරවන, සමාජය වත්මන් රාජපක්‍ෂ හෝමොතියෙන් ගලවාලන නිර්මාණාත්මක මැදිහත්වීමක් කරන්නේ කෙසේද යන්නට ඔබ සමග යම් අභ්‍යාසයක නියැලීමයි.

Tuesday, December 6, 2011

මේක පට්ට සමාජයක්.

පෑනකුයි, කොළයකුයි අතට ගත්තාම හිතෙන්නේ හිතේ තියෙන දේවල් ඔක්කොම එක සැරයකට ලියන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම හිතලා වෙලාවක් වෙන් කරගෙන පෑනයි කොළයකුයි අතට අරන් ලියන්න ඉඳගත්තාම මොනවද ලියන්නේ, කොහොමද පටන් ගන්නේ කියලා හිතෙනවා. ඒ තරමටම අදහස් අවුල් නොවුනාට සමාජය අවුල්. මේක පට්ට සමාජයක්.

අය වැය ආවා ගියා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම ඔක්කෝම විවෘත කළා. මිනිස්සු පරිභෝජනවාදය තුළ ගිල්ලුවා. ලොක්කෝ තමන්ගේ සැප වෙනුවෙන් ආශ්චර්යයේ පිවිසුම් විවෘත කළා. මිනිස්සු දැන් වාහන ගන්නවා, ආශ්චර්යයේ පිවිසුමට යන්න. එයාලාගේ ප්‍රධාන ඉලක්කය බයික් එකක්, අලුත් කාර් එකක් කොහොම හරි ගන්න. එහෙමත් නැත්නම් ෆෝන් එකක්, TV එකක් ගන්න. තමන්ට ගෙයක්, ගෙදරට වොෂින් මැෂින් එකක් ගන්න. මිනිස්සු අද ජීවත් වෙන්නේ ලෝකෙම තියෙන බඩු එකතු කරන්න. මේකට කියන්නේ පරිභෝජනවාදය. නමුත් සමහර අය මේක ජීවිතය බවට පත් කරගෙන.

පරිභෝජනවාදය කියන්නේ ජීවත්වීම සඳහා කරන පරිභෝජනය නෙමෙයි. පරිභෝජනය කිරීම වෙනුවෙන් ජීවිතය කැප කිරීම. අපිට අද සමාජය දකින්න ලැබෙන්නේ භාණ්ඩ හා දේපළ වෙනුවෙන් ජීවිතය කැප කරන මිනිස්සු. මිනිසුන්ගෙ සාර්ථකත්වය අද මනින්නේ ඔහුගේ නිවසේ තියන බඩු බාහිරාදියෙන්. තමන්ගේ සාලයේ වැඩිපුර විදුලි උපකරණ තියේ නම් ඔහු තමන්ගේ ජීවිතය සාර්ථක කර ගත් අයෙක්. තව, එයාගේ ගෙදර තට්ටු දෙකක් නම්, එයාට කාර් එකකුත් තියේ නම් ඔහු සමාජයේ ආදර්ශමත් ධෛර්යමත් මහත් කැපවීමෙන් ජීවිතය ජයගත් මිනිස්සු කියලා කියනවා. අද ඇත්තටම මිනිස්සු මනින්නේ මෙන්න මේ මිම්මෙන්.

මේවා ජීවිතයට අවශ්‍ය දේවල් තමයි. ඒත් ජීවිතය කියන්නේ ලීසිං දාලා ගෙවන්න ගන්න බඩු වලටද? මුළු ජීවිත කාලයම සමාගම් වලට ණය වෙමින් භාණ්ඩ එකතු කරන එකටද? ඇත්තටම මේ ජීවිතය නෙමෙයි. ජීවිතය තියෙන්නේ වෙන තැනක.

අපි ඒ ජීවිතය හොයමු. අපේ ජීවිත අපේමද, නැත්නම් වෙන කාගෙවත්ද කියලා හොයමු. මේක පට්ට සමාජයක්. මේ සමාජයේ නරුමවාදය ඇරෙන්න, නග්න ස්වාර්ථකාමය ඇරෙන්න වෙන මුකුත් ඉතිරි කරලා නැහැ. මිනිහෙක් තවත් මිනිහෙක් එක්ක කතා කරන්නේ ඔහුගෙන් ඇති ලාභය ගැන හිතලා. තවත් කෙනෙක් එක්ක හිනා උනත් එහෙමයි. අද මිනිස් සබඳතා ඇතුලේ ව්‍යාජත්වය තියෙන්නේ. මිනිහෙක් මිනිහෙක් එක්ක තියෙන්නේ දේපල සබඳතාවක්, නැත්නම් ආර්ථික ගනුදෙනුවක්. එතන ආත්මීය බැඳීමක් ඇත්තේම නැහැ. ඉතින් මේක පට්ට සමාජයක්. මේක වෙනස් වෙන්න ඕනෑ. අද ඉඳන් මේ කියවන මොහොතේ සිට ඔබට ඇති අභියෝගය ඔබගේ ජීවිතය සොයා ගැනීමයි. මතක තියාගන්න. මේ සමාජයේ දී අපිට අපේ ජීවිත අතහැරිලා. ඇත්තම කිව්වොත් අපේ ජීවිත පැහැරගෙන.

දවසක් මිනිහෙකුට හැඟීම් ඇත්තේ කොහේදැයි සොයන්නට හිතුනා. හැඟීම් සොයා ඔහු ඇවිදින්න පටන් ගත්තා.

මේ යන ගමනෙදි ඔහුට සංගීතඥයෙකු හමුවුණා. හැඟීම් ඇත්තේ කොතැනදැයි ඔහු සංගීතඥයාගෙන් ඇහුවාම වයලීනයේ තත් අතර යැයි ඔහු උත්තර දුන්නා. ඔහු මාස ගණනාවක් තත් අතර හැඟීම් සෙව්වා. එහෙත් තත් වල හඬ විතරක් ඔහුට හමුවුණා.

ඊළඟට ඔහු දාර්ශනිකයෙක් හමුවුණා. ඔහු කියපු විදියට ඔහු පොත් අතර හැඟීම් සොයන්න වුණා. ඔහුට හැඟීම් වෙනුවට විවිධ හැඟීම් වල හැඩ හමුවුණා.

අන්තිමේදී ඔහුට පෙම්වතියක් හමුවුණා. තමන් හැඟීම් සොයන බවත්, තත් අතර හෝ පොත් අතර හැඟීම් හමු නොවුන බවත් ඔහු ඇයට කීවා.

ඇය ඉතා සන්සුන්ව උණුසුම් හාදුවකින් සංග්‍රහ කර ඔහුට මෙසේ කීවා.
“හැඟීම් ඇත්තේ තත් අතරවත් පොත් අතරවත් නොව සිත් අතර.....!“
(උපුටා ගැනීමකි)

Saturday, December 3, 2011

පෙනුම ගල් වී හරය බොල් වීම

Facebook Account එකක සැබෑ අර්ථය කුමක් වුවත්, මටත් සමාජය හා මිනිසුන්ව අඳුනගන්න මේ ක්‍රමය යෝග්‍ය යැයි සිතුන නිසා පටන් ගත්තා‍ ඒ වැඩේත්. මොකද ‍මේ සමාජය ඇතුලේ මිනිහෙක්ව තේරුම් ගන්න ඔවුන්ව ඇසුරු කරන්න විවිධ වැඩ වල යෙදුනු මම ඒවායින් සාරවත් ප්‍රතිඵලයක් ඇති නොවුනු නිසා ඒ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී මේ වැඩේට set වුනා. හුදෙක් මිතුරන් හඳුනාගැනීම පමණක්‍ තේරුමක් නොමැති නිසා ඉන් එයා පුළුල් අදහසක් ඇතිව ඔවුන් සමග අර්ථවත් ඇසුරකට කරන අරගලයක් ලෙස මා මෙය හඳුන්වනවා. මේ ටික දවසට මගේ Facebook එක බලපු අය මගේ මිතුරෝ වෙලා ඉන්නවා. මේ දවස් වල කරන්නේ ඇත්තටම ඒ අය කවුද? මොකක්ද එයාලාගේ අරමුණු කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. ඉතින් ඒ වැඩෙත් යන ගමන් පොතකුත් කියවමින් සිටි මට අපි ගැන, අපේ සමාජය ගැන කල්පනාවට ආව දේවල් ඔහේ ලියලා දැම්මා.....

පසුගිය දවස් වල News වල තිබුණා අවුරුදු 3000 ක් පැරණි සොහොන් සංකීර්ණයක් හපුතලේ ප්‍රදේශයෙන් හමුවෙලා තියන බව. ඇත්තටම මේ News එක දැක්කාම මාර ගටක් හැදෙනවා නේද? අපිට ඒ තරම් ලොකු ඉතිහාසයක් තියනවා කියලා. අවුරුදු 2500 ක ලිඛිත ඉතිහාසයක් තියන අපිට ‍මේ සිද්ධියත් එක්ක ඒවා ඔක්කොම වෙනස් වෙනවා. අපේ ඉතිහාසය නැවතත් අලුත් වෙයි කියලත් හිතෙනවා. ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ මේ සිද්ධියත් එක්ක මාර "ටෝක්ස්" දුන්නේ. ඇඟ කිලි‍පොලා යනවා එව්වා අහලා. බලංගොඩ මානවයත් නැගිටින තාලේ දේවල් කිව්වේ.

අපේ රට විදියට ගත්තාම ජාතික වශයෙන් මේක මාර ඓතිහාසික වැඩක්. පසුගිය කාලේ සිද්ධ වුන දේවල් දිහා බැලුවාම ඒවත් එක්ක එක පෙළට සිද්ධ වෙන තවත් හොඳ වැඩක්. මම එහෙම කිව්වෙ අපේ රටේ යුද්ධය ඉවර වුනා, සංවර්ධනය ආරම්භ වුනා, මිනිස්සුන්ගෙ ප්‍රශ්න මිනිස්සුන්ටම අමතක වුනා. දැන් මිනිස්සු හිතන්නේ "අංක 01" වෙන්න. ඉතිං බෙදුම්වාදයත් පරාජය කරලා, ජාතික සමගිය හදලා, සංවර්ධනය ආරම්භ කරලා, දකුණු ආසියාවේ කප් එක උස්සලා, මුළු ආසියාවෙම "ආශ්චර්යය" අපේ රටේ නිර්මාණය වුනාම කාටද ආඩම්බර නැත්තේ.....???

අපේ රටේ යුද්ධය ඉවර වුනා කියන්නේ අපේ රටේ දෙමළාට ගහලා සිංහලයා 01 වුනු එකට. ඊළඟට හින්දුවට, මුස්ලිම් එකාට, නේපාල් කාරයට, මලයාලම් කතා කරන එකාට, චීනට ගේමක් දීලා ආසියාවේ 01 වෙන එක තමයි ‍ගේම් එක. පුළුවන් වුනොත් එතැනින් පෙන්ටගනයටත් ගහන්න ඉඩ තියනවා. ඉතින් මෙහෙම 01 වීමේ සිහිනයක් අපට තියනවා. අපේ රටේ අය මේ ගමනට උදව් කරන්නේ තමන් තමන්වම වැරදි කාරයෙක් විදියට හංවඩු කරගෙන තමන්වම ගස් බැඳගෙන. මාර ආතල් නේද වැඩේ???

ඉතින් දැන් මේ ගමනට අපට තියෙන ආයුධ මොනවද? අනිත් එක මෙහෙම සිහිනයක මිනිස්සු පැටලෙන්න හේතුව ‍මොකක්ද? ඇත්තටම මිනිස්සු කැමතියි සර්වබලධාරී වෙන්න. හැම එකකින්ම ඉදිරියෙන් ඉන්න. ඒක අපිට මේ මිය යමින් ඉන්න සමාජය උගන්වපු දෙයක්. තරගකාරීත්වය මේ සමාජයේ අනිවාර්ය දෙයක්. ‍මේ සටනේ අරමුණ තමයි අපේ අනන්‍යතාවය හදා ගන්න එක. දැන් වර්තමාන ශ්‍රී ලාංකිකයාට අනන්‍යතාවයක් තියෙනවාද? අපි සෑම මොහොතකම අපේ අනන්‍යතාවය ඉදිරිපත් කළේ ඉතිහාසයෙන්. ඉතිහාසයේ තමයි අපේ ලොකු වැඩ ඔක්කොම තියෙන්නේ. වැව් දාගැබ් හදපු, ශිෂ්ටාචාර බිහි කරපු, විදෙස් රටවල් ආක්‍රමණය කරපු ඉතිහාසය තියෙන්නේ ඉතිහාසයේ. ඉතින් මිනිස්සු ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉතිහාස පොත් පිටු වලින් ඉර ඉරා පෙන්වනවා. අපිට තියෙන එකම ආයුධයත් මේ ඉතිහාස අනන්‍යතාවය විතරයි. එහෙමනම් ඉතින් අපේ වර්තමානය බොල් නේද?

අනිත් එක, අපේ රට මුහුණ දී ඇති ආර්ථික අවපාතය, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, මානව හිමිකම් අමු අමුවේ මරා දැමීම, විදෙස් ප්‍රතිපත්තියේ ඇති නිවට බව, විදෙස් රටවල් ඉදිරියේ දණ නැමීම, ජාතික සමගිය ගොඩ නැංවීමට ඇති නොහැකියාව, පශ්චාත් යුද වාතාවරණය... මේ ආදී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ විට අපේ බලාපොරොත්තුව විය හැක්කේ කුමක්ද? ඉතින් අපේ වර්තමානය බොල් නේද?

ගෙවුණු වසර 62 ක ඉතිහාසය විසින් ඔප්පු කොට ඇති සත්‍යය වන්නේ පාලකයන් "බලාපොරොත්තු" නමැති කැරට් අලය ඉදිරියට දමා රටේ ජනතාව තමන්ට අවැසි මගක දක්කාගෙන විත් ඇති බවයි. ජනතාව විසින් තම බලාපොරොත්තු ජයග්‍රහණය කර ඇත්නම් ඒ වෙන අයුරකින් නොව තමන් විසින් කළ "අරගල" නිසාවෙනි. වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ වසර 500 ක අත්දැකීම එයයි. මෙම සත්‍යය තේරුම් ගැනීමට තව දුරටත් පසුබට විය යුතු නැත. දැන් ආරම්භ කළ යුතුය අපගේ විමුක්තියේ මාවත. ප්‍රජාතන්ත්‍රවාදයේත් මානව නිදහසේත් මාවත. වැඩකරන පන්තියේ වෛද්‍යවරයා, නීතිවේදියා, ලියුම් බෙදන්නා, ගුරුවරයා, ශිෂ්‍යයා, රෝගියා, චූදිතයා, කම්කරුවා මේ සියල්ලන්ම අවබෝධ කර ගත යුත්තේ මෙයයි.

වර්තමාන පාලනයේ ද පෙනුම ගල් වී හරය ‍බොල් වී ඇති බව මෙකී පාඩම් වලින් තේරුම් ගත යුතුවාක් මෙන්ම, සුන්දර සිහින වල හෝ සාහිත්‍යයේ වචන තුළ අතරමං නොවී සිටීමට ද තර‍යේ අවධානයට ගත යුතුය.

'"අරගලය" පැවැත්මේ පියා හා රජු වේ'
- නෙරක්ලීටස් -

වේදනාවෙන් විනෝද වීම

සිරිල් අයියා කියන්නේ මට හමුවුණු මිනිස් චරිත වලින් අමුතුම තාලේ මිනිහෙක්. සිහින් සිරුරක් ඇති මුහුණ පුරා ගණ රැවුලක් වැවී ඇති හතලිස් විය පසු කළ ඔහු චාම් මිනිසෙකි. නූතන සේරිවාණිජ චරිතය සිහි කරමින් Fancy කඩයක සේවය කරන සිරිල් අයියා කාන්තාව ‍කොටස් කර විකිණීමට දක්‍ෂයෙකි. ඒ ඔහු අතින් කාන්තාවකට අවශ්‍ය මාල, වළලු, කරාඹු, මුදු, චේන්, බ්‍රෙස්ලට්, ක්‍රීම්, ලිප්ස්ටික්, ෆේෂ් වොෂ් ආදී සියල්ලක්ම විකිණෙන නිසාය.

ඔහු සමග පැයක් කතා කළ විට සිනහව වාවාගත නොහැකිය. එපමණටම ඔහු විනෝදකාමියෙකි. එමෙන්ම සිදුවීම් තුළ ඇති මිනිස් ගති සොබා මෙන්ම සිදුවීම් සිදුවීමට බලපෑ හැකි වස්තු බීජයන් ගැන ද විහිළුවෙන්ම පැහැදිලි කරයි.

සිරිල් අයියා දිනක් රාත්‍රී නින්දේ සිටින විට නැගලා යන බජව්වක් ඇසී ඊට කන් දී සිට ඇත. හතරදෙනෙකු මහා රාත්‍රියේ බජව්ව පටන් ගෙන ඇත. ගුණපාල, රත්නේ, පුංචයියා හා උක්කුවා පදමට ගසා ලීටර් 20 බැරල් දෙකක් පළු යන තුරු පහර දෙමින් ජෝති හා කපුගේ ජීවමාන කර ඇත. සිරිල් අයියා ද සිංදු කාරයෙක් බැවින් ඔහුත් එයට සවන්‍ දෙමින් යහනේ සිට ඇත.

ගුණපාල අයියාගේ රැකියාව පොල් කැඩීමයි. ඔහු විවාහකයෙකි. දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. ඉන්නේ පොල්අතු පැළකය. කන්නේ කොහේ හෝ කෙදිනක හෝ ‍පොල් කැඩුවහොත් පමණි. ඔහු‍‍ගේ බිරිඳ නිවසේ සිට දරුවන් රැකබලා ගනිමින් ගුණපාල අයියා ගෙදරට කන්න අරන් එන තුරු මග බලා සිටී. පොඩිඋන්ට හරියට අඳින්න ඇඳුමක් නැත. කන්න වීදුරු පිඟානක් නැත. නිදියන්න සිරි යහනක් නැත. මුළු ගෙදරටම ඇත්තේ ලෑලි වලින් වසා දැමූ කාමර දෙකක් පමණි. ඉන් එක කාමරයක් මුළුතැන්ගෙය ලෙස භාවිතයට ගනී. හඳ පායනා දවස් වල පොල් අතු වහ‍ලයෙන් ගුණපාල වෙත එබිකම් කරන සඳරැස් ඔහුට සිනහ වෙන්නේ අනුකම්පාවටද නැත්නම් අහවල් දේකටදැයි දන්නේ සඳරැස් ම පමණි.

පුංචයියාට දැන් වයස හතලිස් පහක් පමණය. විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. එහෙත් ඔහුගේ ප්‍රියම්භිකාව ඔහු හැරගොස් දැනට වසර අටකි. ඒ පුංචයියාට හරි හැටි රැකියාවක් වත් දේ‍පොළක් වත් නැති නිසාවෙනි. පුංචයියාට සිටියේ රේණුකා හා මල්ලිකා යනුවෙන් ගැහැණු ළමයි දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ද පුංචයියා හැර ගියේ සඳරැස් වැටි රාත්‍රියකය. ඔවුන් ගැන දන්නේ ද ඔවුන්ට පැන යාමට ඉඩ සැලසූ සඳරැස් ම පමණි. දැන් පුංචයියා තට්ට තනියම තමාගේ නිවසට වී ඔත්පල වූ අම්මා ද, මයිල් හැලී ගිය කෙසඟ බලු පැටවාද සමග ‍නිදහසේ කාලය ගත කරයි. කෙසේ හෝ කුලී රැකියාවක් සතියකට වරක් සොයා ගන්නා පුංචයියා ඉන් ලැබෙන මුදලින් අතේ සතේ නැතත් තමන්ට පුතේ කියන තම ආදරණීය මෑණියන් රැක බලා ගනිමින් ‍ජීවත් වෙයි.

උක්කුවා මේ ගම් පළාතේ කෙනෙකු ද නොවේ. තමන්ගේ ජාතකය ගැන වත් දන්නා පුද්ගලයෙකු නොවේ. ඒ පොඩි කාලේ සිටම අනුන්ගේ ගෙවල් වල ඉඳුල් කමින් හැදී වැඩුණු මිනිසෙක් නිසාය. ඔහුට අම්මා තාත්තා පිළිබඳ දැනීමක් නැත. ඔවුන් කවුරුන්දැයි උක්කුවා වත් නොදනී. දිනපතා අනුන්ගෙන් ගුටි කන, කඩපිල් ගානේ පීචං වෙන උක්කුවා රාත්‍රිය වන විට සූර් වන පදම සොයා ගනී. තමන්ගේ ජීවිත‍යේ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය ද කසිප්පු කාලකට යට කොට ඇති උක්කුවා මෙවැනි බජව්වකින් හැර ඔහුට කාලය ගත කර ගැනීමට වෙනත් මාර්ගයක් නොමැත. ඒ හෙට දිනත් ඔහුට දීර්ඝ, වෙහෙසකර, එපාම වූ ඒකාකාරී දිනයක් නිසාවෙනි.

රත්නේ ගොවිතැනින් ජීවත් වෙන්නෙකි. හේනේ පිටියේ මෙන්ම කුඹුරු ගොවිතැන ද කරන රත්නේ, උදේ සිට රාත්‍රී වන තුරාම මහ පොළොව පෙරළමින් ඒ සමග ඔට්ටු වෙයි. ඔහු‍ගේ ගෙදර සාමාන්‍යයෙන් දින දෙක තුනකට වරක් නිරාහාරව නොඉන්නේ නම් පුදුමයකි. ඒ නැති බැරි කම නිසාවෙනි. තියන තුට්ටු දෙක ‍පොළවට යට කළ ඔහු අස්වැන්න නෙලා ගන්නා තුරු ‍ජීවිකාව ගැට ගසා ගන්නේ යාන්තමිනි. තම දරුවන්ට චීස් බටර් දීමට නොහැකි වුණත්, ඇන්කර් හෝර්ලික්ස් නැති වුණත් කහට උගුරක් හෝ තම දරුවන්ට කෙසේ හෝ ලබා දීමට උනන්දු වන්නේ හිත පුරාම පීතෘ ‍ස්හේහය තිබෙන නිසාය.

ඉතින් ජාතකයක් නොමැති උප්පැන්නයක් නොමැති, එහෙත් අපගේ ජාතකය විමසන වර්තමාන කසිකබල් සමාජය, අප හැමෝගේම ජීවිත අභියෝගයට ලක් කරමින් ඇත. සෑම අයෙක්ම මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සංස්ථා බිඳ වැටී ඇත. බිරිඳ හා ස්වාමි පුරුෂයා අතර අධ්‍යාත්මක සබඳතාවය බිඳ වැටී ඇත. තියන වුන් තව තවත් ඇති හැකි අය කරන, නැති වුන් නැත්තටම නැති කරන වත්මන් සමාජය, කුඩා දරුවෙකුගේ ජීවිතය දිය පහරක සඟවා ගන්නේ මේ සමාජයේ කුරිරු බව අපට කියා දෙමිනි. කැලණි ග‍‍ඟේ පාවී ගිය අමිල සඳරුවන් වැනි දරුවන් හෙට තවත් තැනකින් මතු වීමට ඉඩ ඇත.

පව්කාරයින්ට ගල් ගැසීමට ඉගැන්වූ මේ සමාජය, මාලනී පුෂ්පලාතාලාටත් වට කොට පහර දීමට පෙළඹී සිටී. හුදෙක් මාලනීලාගේ වැරැද්දක් ලෙස දකින මිනිසුන්ට අවබෝධ නොවන්නේ, වර්තමානයේ පාලකයන්ගේ තකතීරු පාලනය ගැන නොවේද? කිරිපිටි පැකට්ටුවකින් 100% ක් බදු අය කරන විට, කහකුඩු කිලෝව රුපියල් 800 පන්නන විට, සුදුළූණු කිලෝව රුපියල් 400 කට වත් ගන්න බැරි කොට, රත්නෙලා පුංචයියලා වේදනාවෙන් විනෝද වනවා ඇරෙන්න වෙන නම් කුමක් කරන්න ද? මැති ඇමැත්තෝ ලක්ෂ ගණන් මාසිකව උපයද්දී උක්කුවාලා ගුණපාලලා දිනකට රුපියලක් ඉපයීමට කොපමණ වෙහෙසක් දැරිය යුතුද? රත්නෙලාට ද ගුණේලාට ද ලක්ෂ ගණනින් නැතත් ජීවත් වීමට ඇති පදමින් ඉපයීමට සමාජය ඉඩ ලබා දෙන තුරු රේණුකාලා මල්ලිකාලා බිහි වනු ඇත.

එතෙක් පුංචයියලා, ගුණේලා, රත්නෙලා හා උක්කුවලා හෙට රාත්‍රියේත් තම වේදනාව සමගින් වේදනාවෙන් යුතුව විනෝද වනු ඇත.

ලිංගික නිදහස හා ආර්ථික නිදහස

අපේ ආරම්භය දකින ඕනෑම කෙනෙකුට සම්ප්‍රදාය, විනය, සදාචාරවත් බව හදිසියේම මතක් වන්නේ නම්, එය පුදුමයට කරුණක් නොවන බව අපි සඳහන් කරමු. ඊට හේතුව අප ජීවත් වන සමාජය ලිංගිකත්වය පිළිබඳ කථා කිරීමට විනා නිදහසේ සිතීමටවත් ඉඩක් තබා නොතිබීම මගිනි. තවද අප ලිංගික නිදහසක් වෙනුවෙන් සංවිධාන අටවා, ඒ වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා, ජනතාව ඥාණනය කිරීමේ කටයුත්තක‍ට අතගසා නොමැති බවත්, අප ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමක් නොවන බවත් තරයේ අවධාරණය කොට සිටිමු.

එහෙත්, ශ්‍රී ලංකාව වැනි ගතානුගතික අදහස් උරමත දරාගෙන වර්තමානයේ සිට ඉතිහාසය හාරා අවුස්සමින් තම අනන්‍යතාවයක් ‍සොයා මිනිසුන් වෙසෙන සමාජයක පවතින සිර මැදිරි එකින් එක බිඳ දමමින් නිදහස් මිනිසුන් බිහි කිරීම අපේ අරමුණ වී ඇත්තේය. එහෙයින් ආරම්භයෙන් නොව අවසානයෙන් අපගේ වෑයම තේරුම් ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මිනිසාගේ ජීවිත කාලය තුළ ඔහු විසින් ඉටු කරනු ලබන ක්‍රියා රාශියකි. විටෙක ඔහු මිනිසා වෙනුවෙන්, ජීවයේ අඛණ්ඩතාවය වෙනුවෙන් සොයාගැනීම්, නිපදවීම් කරනවා පමණක් නොව ඊට ප්‍රතිපක්ෂව මිනිස් සංහතියේ විනාශයට ද කටයුතු කරනු ලබයි. විටෙක උචිත පරිදි ස්වභාවදහම ද වෙනස් කරන ඔහු, තවත් ‍විටෙක ස්වභාවදහමේ විනාශයන්ට ද මුහුණ දෙනු ලබයි.

කෙසේ වෙතත් ජීවීන්ගේ අඛණ්ඩතාව නොනැසී පවතී. ඊට හේතුව කුමක් ද? ජීවීන්ගේ අඛණ්ඩතාවය රඳා පවතින්නේ ප්‍රජනනය (Reproduction) මතය.මෙසේ පොදුවේ ජීවීන් ලෙස හැඳින්වූයේ මිනිසා ඇතුළු සත්වයින් හා ශාකය. සියල්ලම ප්‍රජනනය මත තම වර්ගයා බෝ කරනු ලබයි. මෙය කොටස් ‍02 කි. එනම් ලිංගික ප්‍රජනනය හෙවත් ජන්මාණු හරහා ජීවයක් බිහි වීම හා අලිංගික ප්‍රජනනය හෙවත් මව් ජීවියා කොටස් වලට කැඩීමෙන් ඊට බෙහෙවින්ම සමාන ජීවියෙකු හට ගැනීමයි.

මින් මිනිසාට අදාළ වන්නේ ලිංගික ප්‍රජනනයයි. මෙය මිනිසා විසින් ඉටු කරනු ලබන්නේ තම වර්ගයා බෝ කර ගැනීමේ අරමුණ ඇතිවය. මෙය ජීව විද්‍යාත්මක කරුණකි. එය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකි. පරිණාම ක්‍රියාවලියේ දී වඩාත් ම වැදගත් වන්නේ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු එකතු වීම හෙවත් සංසේචනය මත බිහිවන යුක්තානුව වර්ධනය වීමෙන් නව ‍ජීවයක් හට ගැනේ. මෙම සංසේචන ක්‍රියාවලිය ද කොටස් 02 කි. එනම් බාහිර සංසේචනය හා අභ්‍යන්තර සංසේචනයයි. බාහිර සංසේචනයේ දී සිදු වන්නේ, විශේෂයෙන් ම ජලජ ජීවීන් විසින් සිදු කරනු ලබන්නේ ජලයට තම ජන්මානු නිකුත් කිරීමයි. මෙහි දී ගැහැණු හා පිරිමි ජන්මාණු එකතු වී යුක්තානුවක් බිහිව ජීවය හට ගනු ලබයි. එහෙත් අභ්‍යන්තර සංසේචනයේ දී සිදු වන්නේ පිරිමි ජන්මාණු ගැහැණු සත්වයාගේ ප්‍රජනනය තුළ තැන්පත් කිරීමය. ඒ අනුව වඩාත්ම ඵලදායී හා ආරක්ෂාකාරී වන්නේ දෙවැනි ක්‍රමයයි. මිනිසා නමැති දියුණු සත්වයා අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රමයයි. ඔහුගේ ප්‍රජනන පද්ධතිය ඉතා සංකීර්ණ ලෙසත්, මනා ලෙසත් ඊට සංවිධානය වී ඇත.

මෙම කරුණ සටහන් කිරීමට සිදු වූයේ අපගේ අරමුණ වෙත ඔබව ගෙන යාමට පහසු කරවීමට ය. මිනිසාගේ අඛණ්ඩතාවය තීරණය වන්නේ ප්‍රජනන ක්‍රියාවලිය මතය. ඒ සඳහා ස්වභාවධර්මයා ඉඩ සලසා ඇති අතර, ගැහැණියක හා පිරිමියෙකු එක් වීම අනිවාර්ය කරුණකි. එය ඉතාම තෘප්තිකර මොහොතක් බව සත්‍ය වුවත්, එය එවැනි හැඟීමක් දනවා ඇත‍්තේ ස්වභාවදහමට නව ජීවයක් බිහි කර ගැනීමේ උවමනාව මතය.

එහෙත් පිරිමියාට එය තෘප්තිකර අවස්ථාවක් වන්නේ තමාගෙන් ශුක්‍රාණු පිට වන තෙක් පමණි. ඊට ද හේතු වන්නේ මෙම ක්‍රියාවලිය හුදෙක් ම සමාජයේ අනාගතය වෙනුවෙන් නොඑසේ නම් ජීවයේ අඛණ්ඩතාවය පමණක් ම වෙනුවෙන් නිර්මාණය වූවක් නිසාවෙනි. මේ අනුව ලිංගිකත්වය යනු මානව අවශ්‍යතාවයකි. තම වර්ගයා බෝ කිරීමට ස්වභාවදහම විසින් පවරා ඇති වගකීමය. මෙම කරුණු තේරුම් ගත යුත්තේ එපරිද්දෙනි.

එහෙත් ලිංගිකත්වය ගැන කථා කරන විට මිනිසුන්ගේ මුහුණු බිමට හැරවෙන්නේත්, එය කථා කිරීමට තරම් නුසුදුසු මාතෘකාවක් බවට පත් වන්නේත් අප අතරේ පවතින නටඹුන්ගත නිදන්ගත ආකල්ප හැර වෙන අන් යමක් නොවේ. ලිංගිකත්වය ගැන කථා කිරීමට යාමේ දී එය වල් කථාවක් යැයි පවසා කුණුහරුපයෙන් ම බනින්නේත් ඒ නිසාවෙනි.

එහෙත් එහි ප්‍රතිඵලය වී ඇත‍්තේ කුමක් ද? ශිෂ්‍යයා අත ජංගම දුරකථන ය. ඒවායෙහි අසභ්‍ය දර්ශන ය. ඔවුන් එයින් තෘප්තිමත් වීමට පුරුදු වේ. සති අන්ත පුද්ගලික පංති යන අපේ දරුවන් නතර වන්නේ එදා මෙන් ළඳු කැළෑ වල නොව "දියවර", "නිල් නදී" වැනි තානායම් වල ය.ඔවුන් තෘප්තිමත් වන්නේ එසේය. බස් රථ වල, දුම්රිය තුළ සිදු වන ලිංගික හැසිරීම් ද තෘප්තිමත් වීමේ ආකාරයන් ය. සිනමාහල් වල, සතුටු උයන් වල මෙන්ම අනියම් සබඳතා හරහා ද සිදු වන්නේ මෙම ආකල්පයන්ගෙන් වැට බැඳ ඇති අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමකිය.

ඉතිං සිදු විය යුත්තේ කුමක් ද? ගැහැනියක හා පිරිමියකු එකතු වීමට ඇති බාධා කවරේ ද? ඇත්තෙන්ම ලිංගිකත්වය යනු හුදෙක්ම ආදරය හා ආධ්‍යාත්මික සබඳතාවය මග හැර තෘප්තිමත් වීමේ ක්‍රියාවලියක් පමණක් ම ද? නැත... කිසිසේත්ම නැත. ලිංගික සබඳතාවක් ඇති වීමට මත්තෙන් ගැහැණිය හා පිරිමියා අතර ආධ්‍යාත්මික සබඳතාවක් සිදු විය යුතුය. එහෙත් සිදු ව ඇත්තේ කුමක් ද? සමාජයේ අති මානුෂීය සබඳතා දෙදරා ගොස් ඇත. අධ්‍යාත්මික සබඳතා පුපුරා‍‍ ගොස් ඒ වෙනුවට ආර්ථික සබඳතා මතු වී ඇත. අප කා අතරේත් අද පවතින්නේ අධ්‍යාත්මික සබඳතා නොව ආර්ථික සබඳතාය.

මිනිස් ශරීරය විසින් ඉල්ලා සිටිනු ලබන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය ආර්ථිකය මත මිරිඟුවක් බවට පත් කර ඇත.දෙදෙනාගේ සබඳතාවය තීරණය කරනුයේ අධ්‍යාත්මය මත නොව රැකියාව, සමාජ තත්ත්වය මතය. ඔවුන්ගේ එකතුවීම හුදෙක් පුද්ගලයන්ගේ එකතු වීමක් නොව දේපොළ වල එකතු වීමකි.නිසි වියට පැමිණි තරුණ යුවලක් විවාහ වීමට ඉ‍ටු කර ගත යුතු කරුණු ලෙස රැකියාව, දෑවැද්ද හා දේපොළ අනිවාර්ය අංගයක් බවට පත් කොට ඇත. පිරිමියාගේ ප්‍රජනන පද්ධතිය තුළ දෛනිකව ශුක්‍රාණු නිපදවීමත්, ගැහැනිය තුළ දින 28 කට වරක් ඩිම්බයක් මෝචනය වීම සිදු වේ. එවිට ලිංගික හෝමෝන උත්තේජන වේ.

ඒ විසින් ඉල්ලා සිටිනුයේ එවන් ක්‍රියාකාරකම් වල නිරත වන ලෙසය.‍එහෙත් රැකියාවක් ලැබෙන තුරු, නිවසක් හිමි වන තුරු, දෑවැද්ද සොයා ගන්නා තුරු ගැහැණියක හා පිරිමියකු විවාහයක් හරහා එකතු වීම කල් දැමීමට සිදු වේ. දිනෙන් දින රැකියා අහිමි වන සමාජයක රැකියාවක් සොයා ගැනිම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. දිනෙන් දින වැටුප් වැඩි වීම් ඉල්ලා ජීවන බර අඩු කරන ලෙස ඉල්ලා රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පවතින සමාජයට එරෙහිව අරගල කිරීම හැර රටේ තරුණ ප්‍රජාවට ඉතිරි වී ඇත්තේ කවරක් ද?

සමාජයේ පීඩනය ශරීරයට ඔරොත්තු දෙන්නේ නැත. ශරීරය ඉල්ලා සිටින්නේ ඒ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයයි. එහෙයින් මිනිසා දැවැන්ත ලිංගික පීඩනයකට නිතරම ගොදුරුව සිටී. එම පීඩනය එතරම් සරල නැත.ශරීරය ඉල්ලා සිටින අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ තව කෙනෙක් සමග එය බෙදා ගැනීමෙනි. නමුත් වැටුප් වැඩි වීම සඳහා, රැකියා ලබා ගැනීම සඳහා එක්ව අරගල කළ ද, මේ සඳහා එක්ව අරගල කිරීමට තබා කථා කිරීමටවත් නිදහසක් නොමැත.

එහෙයින් දිනෙන් දින ස්ත්‍රී දූෂණ වැඩි වීම, ගණිකා වෘත්තියේ යෙදෙන්නන් වැඩි වීම, කැරෝකේ ශාලා වල සිදුවීම් වැනි සිදුවීම් දෛනිකව අසන්නට ලැබේ. මෙම පීඩනය මත මිනිසා ජීවත් වේ.ප්‍රශ්නය ඇත්තේ කොතැනද? මිනිසුන් අතර ඇති අති මානුෂීය සබඳතා දෙදරවා ඇත‍්තේ ආර්ථික සබඳතා විසින් ය. එහෙයින් අධ්‍යාත්මික සබඳතා නැවත ඇති කිරීමට නම්, මිනිසා හෙට්ටු කර ඇති, එකිනෙකා සතුරු කරවා ඇති මෙම දූෂිත, පිළිකුල් සහගත සමාජ ක්‍රමය වෙනස් කළ යුතුව ඇත. ඒ අනුව ලිංගික නිදහස ඇති කර ගත හැකි වන්නේ සමාජ ක්‍රමය වෙනස් කොට ලබන්නා වූ ආර්ථික නිදහස තුළම පමණි.
ඉඩ දෙන්න හදවතට නොව බුද්ධියට සිතන්න........
ඒ හදවත හැඟීම්බර වන නිසාත්, බුද්ධිය බුද්ධිමත් වනු ඇති නිසාත්.........!

Test Post

This is the test post. ignore this...