Saturday, January 28, 2012

මර්ධනය, යටත්වීම, සටන්වැදිම

මේ දවස්වල අප සමාජයේ ජනප්‍රිය වෙමින් යන මාතෘකා 03ක් ගෙන  දක්වමු. ඒ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ඒ හරහා වැටී ඇති බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන සතුරා
බවට මේ දවස්වල විශ්වවිද්්‍යාල සිසු සිසුවියන්  පත්ව ඇත. අධ්‍යාපන පෞද්ගලීකරණය සඳහා සැලසුම් කරමින්  ඒ සඳහා සුදානම් වන ආණ්ඩුවට එරෙහිව වීදි බසින ශිෂ්‍ය ප්‍රජාව 
ඔවුන්ගේ ප්‍රධාන හතුරා වීම අහඹුවක් නොවේ. ඒ නිසා ඔවුන්  L.T.T.E ය සමඟත් පාතාලය සමඟත් සම්බන්ධයක් ඇති බව කියමින් ඔවුන්ව මර්ධනයකට සූදානම්ව ඇත. පාලකයන්ට
අනුව විශ්වවිද්්‍යාල බිම යනු තවමත් මුදා නොගත්  කලාපයකි. ඒ හෙයින් යුද හමුදා  බෆල් රථ, කලු කමිස කැරලි මර්ධකයින් හමුදා සාමාජිකයින්   සියල්ලම මේ දවස්වල විශ්ව
විද්්‍යාල ඉදිරිපිට  Park කර ඇත. ලොක්කන් කියන පදේට නටන්න රටේ ජනතාවක් සිටින නමුත් උගත් මිනිස්සු එසේ නැටවිම ලෙහෙසි නොවන බව තේරුම් ගැනිම පසුගිය දා ක්‍රියාත්මක වු සරසවි ඇදුරු වැටුප්
සටනද  වත්මන් ශිෂ්‍ය අරගලයද හොඳටම ප්‍රමාණවත්ය. ආණ්ඩුවලට අවශ්‍ය දේ කර ගැනිමට කවදත් සරසවි ශිෂ්‍ය ප්‍රජාව හා රටේ විද්වත් ප්‍රජාව ඉඩ දුන්නේම නැත. කවදත් ඔවුන් හරහට සිටි. ආර්ථික අර්බුධය හමුවේ ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා  කර ගැනීමට ඇති එකම සූත්‍රය පෞද්ගලීකරණයම වේ. එය අන්තර්ජාතික මූල්්‍ය සංවිධාන වල උවමනා එපා එපාකම් මත සිදු වේ. මේ අනුව රජයේ වයදම් කප්පාදුව මත අධ්‍යාපනය අංක එක බවටත් සෞඛ්‍ය දෙවැන්න බවටත් පත්ව වාර්ෂික ප්‍රතිපාදන අඩුකර ඇත. මේ තත්වය හමුවේ
වීදි බසින ශිෂ්‍යයාත් පීඩිතයාත් ආණ්ඩුව හමුවේ මර්ධනයට ලක් වෙමින් ඇත.  


 දැන් දැන් වැඩ වරද්දගනිමින් යන ආණ්ඩුව ජනතාව ඉදිරියේ නිරුවත්විම වැලැක්විය නොහැක.
ඔවුන්ගේ අධිකාරී සියල්ලම  ප්‍රපාතයට යාම වැලැක් විය නොහැක. මේ බව දන්නා ආණ්ඩුව තමන්ට එරෙහි වන හැමෝගේම ඔලු පලන්නට සූදානම්ය. නැත්නම් පැහැරගෙන ගෙන ගොස් මාරා දමන්නට සුදු වැන් සියල්ලම සීරුවෙන්ය. මේ තත්වය පාලකයන්ගේ පරසතුරන් වු සරසවි ප්‍රජාවට පමණක් උරුම නොවන්නකි. අද එහා ගමට ගිය ඔවුන් හෙට අල්ලපු ගෙදරටත් අනිද්දාට අපේ ගෙදරටද එනු නොඅනුමානය. එහෙයින්  සියලු දෙනාට තීරණය කිරිමටත්  තෝරා ගැනිමටත් දෙකක් තිබේ. එක්කෝ තම වගකිම තේරුම් ගෙන සටන් 
කිරිමය නැත්නම් ජීවිතය අරක්ෂා කර ගැනිමට යටත්වීමය.සමහරු වෙන දෙයක් වෙද්දෙන් කියා බලාගෙන සිටිනු ඇත. නැත්නම් ගෞරවනීය ලෙස යටත් වනු ඇත. ඒ සඳහා  අරලියගහ මැදුර විවෘතව ඇත. එහි ආප්පද කෝපි සූදානම්ව ඇත. කළ යුත්තේ දෙපා ලෙව කෑමය. එහෙමත් නැත්නම් මේ එකක්වත් තමන්ට නොගැලපේනම් සිය දරු පවුලද සමග රට අතහැර පලා යාමය.


                        කොහොමනමුත් පසුගියදා සිදු වු සිදුවිම් වලින් මෙරට පාලකයින් ජනතාව ඉදිරියේ හෑල්ලු විය. හෑල්ලුවෙනවාට අමතරව ජනතාව ඉදිරියේ බොරු දෙසාබාමින්  ඔල මොට්ටල වැඩද කළබව නොරහසකි. වැරැද්දේ වගකීම  බාර ගැනිමට තරම් උකුණු හිසක් තරම්වත් මොලයක් නොතිබු ඇමතිවරුත් ජනතාව ඉදිරියේ නිවැරදි වීමට සූදානම් නැති නිළධාරීනුත් ඔවුන්ව පත්කල  පාලකයිනුත් අවසානයේ වැඩ වරද්දාගෙන ඇත. එහෙයින් මේ අවුල නිරවුල් කළ යුතුය. ඒ සඳහා යටත් වීම හෝ දණගැසිම වෙනුවට සටන් වැදිය යුතුය. වැඩවරද්ද ගන්නා ආණ්ඩුව හෝ පාලකයින් වෙනුවට වැඩ කළ හැකි ජනතාවට වගකියන හා නිහතමානි මිනිසුන් සහිත සමාජයක් දක්වා මෙය වෙනස් කළ යුතුය. ඒ සඳහා ඔබ සූදානම් විය යුතුය.



Thursday, January 26, 2012

පහරදීම්, අතුරුදන්වීම්, ඝාතන හා උද්ඝොෂණ

මේ දිනවල ලාංකීය භූමියේ වඩාත්ම කථා බහට ලක් වූ එමෙන්ම වඩාත් ජනප්‍රිය සටන්පාඨ බවටත්
ජනතාව අතර ගුප්ත මාතෘකාව බවටත් යථෝක්තය පත්ව ඇත. දිගින් දිගටම සිදුවුනු අතුරුදහන් වීම්,
ඝාතන, සුදු වැන් සිදුවීම් හේතුවෙන් ලාංකීය දේශපාලනය ජනවාරි 01 දා සිට උණුසුම්විය. පසුගිය
දෙසැම්බර් 9 දා අතුරුදහන් වු ලලිත් හා කූගන් නිසා නිසා එය ජාතිකවත් ජා්‍යත්තන්තරව ප්‍රබල
මාතෘකාවක් බවට පත් විය. අතුරුදහන් වුවන් සොයා,  පුද්ගල ඝාතන හා පහර දීම්වලට එරෙහිව
දිගින් දිගටම උද්ඝෝශන පැන නගින්නට විය. ප්‍රධාන විපකෂය යැයි කියා ගන්නා එ.ජා.ප යද මහා
වාමවාදීන් යැයි පාරම් බාන ජ.වි.පෙ ද මේ පිලිබඳ මුනිවත රකිද්දි සටන් බිමට පිවිසීමට කිසිවෙකු
සිටියේ නැත. එ‍හෙයින් ආණ්ඩුව ගේම අතට ගෙන සිටියේය. ඔවුන් විපක්ෂයට කෝචොක් දමන්නට
විය. ඔවුන් ඇසුවේ විපක්ෂය කෝ ? කියාය. ඔවුන්ට නිවැරදි වීමට විපක්ෂයක් අවශ්‍ය බවට වහසි බස්
දෙඩීය
එහෙත් කාලයත් සමග සියල්ල ක්‍රමයෙන් වෙනස්ව ඇත. හුදු මාධ්‍ය
සංදර්ශණවලට පමණක් සීමා නොවි කොළඹට පැමිණ ලිප්ටන් වසා සරමක් කැස පොට කවා චණ්ඩි
රැගුමක් දමා හවසට නැවත ගෙදර යන විපක්ෂයක් වෙනුවට දවසින් දවස  උද්ඝොෂණයෙන්
උද්ඝොෂණයට ජනතාව රැස් කරන විපක්ෂයක් මතු වෙමින් ඇත. අද මේ රටේ සිදුවන
ශිෂ්‍යය අරගල,තරුණ අරගල, මෙන්ම පීඩිතයාගේ සටන් බිමටද ඔවුන් නායකත්වය දිමට සූදානම්ව ඇති සෙයකි.ජනතාවගේ සිතැති පරිදි ඔවුන් සමග සිටින විපක්ෂයක් සන්ධානගත වෙමින් ඇත.
ඒ වාමංශික නායකත්වයක්ද සමගිනි.
පුද්ගල පැහැරගැනිම් වලට එරෙහිව පසුගියදා ඔවුන් යාපනයේ උද්ඝොෂණයක් සංවිධානය කර තිබිනි
එහෙත් ඔවුන්ට පුලියන්කුලමෙන් එහාට යාමට අවසර ලැබි නැත. විවිධ බාධා කිරීම්, තර්ජනය කිරීම්,
බිය වැද්දිම් ඔවුන්ට එල්ලවි තිබිණි. එහෙයින් කිලිනොච්චියේ කළ පත්‍රිකා බෙදීමකින්ද පුලියන්කුලමේ
කළ උද්ඝොෂණයකින්ද පසු ඔවුන් නැවත හරවා එවා ඇත.
       මෙරට පැහැරගැනීම් දකුණේ මෙන්ම උතුරේ ද වන බව සත්‍යයකි. පුද්ගල ඝාතනද එලෙසමය.
එහෙයින් වත්මන් රෙජීමයට එරෙහි උද්ඝොෂණ ලිප්ටන් වටරවුමට සීමාවිම තවදුරටත් සිදුනොවනු
ඇත. අද දිනයේ බාධාකිරිම් සිදුවුනද හෙට දිනයේ එවැනි බාධා කිරිමකට ඔවුන්ට ඉඩක් නැත දකුණෙන්
හෙට උතුරට යන ජනයා වැලැක්විමට ඕමන්තේ මුර පොලට හෝ කලිනොච්චියට නොහැකි වනු ඇත.
ඔවුන් ඒ තරම් ශක්තිමත් වනු ඇත. එහෙත් එතෙක් රාජපකෂ ජුන්ටාව අද දිනයේ සිදු කරන
 ක්‍රියාකාරකම් නම් නිනිදා සහගතය, කැතය, ලැජ්ජා සහගතය ඇත්තෙන්ම පජාතිය.

Sunday, January 22, 2012

නෙලුම් නොපිපෙන නෙලුම් පොකුණ

ආනන්ද කුමාරස්වාමි මාවත දැන් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ නෙලුම් පොකුණ මාවතය. ඒ මාව‍තෙන් නෙලුම් පොකුණට යා හැකිය.නෙලුම් පොකු‍ණේ විශාල රගහලකි.
චීන අධාර මත ඉදි වු දකුණු ආසියාවේ විශාලතම රගහල මෙය බවත් සදහන්ව ඇත.හිතෝන්මාදය රජයන කලක ලංකාවේ තවත් විශාල 
ගොඩනැගිල්ලක් ඉදිව ඇත.
   වත්මන් දේශපාලන මොහොත තුල ජීවිත පවා joke වී ඇති සන්දර්භයක කලාව වියුක්ත අධ්‍යයනයක යෙදෙන්නේ නම් එයත් joke බව වටහා ගත හැකිය. 
මන්දයත් පවතින සාමාජ අර්ථික දේහය සමාජගත වන්නේ එය සමාජයට සාමාන්‍යකරණය කර ඇති කලාව තුලින් විමය. චිත්‍රපට, කෙටි චිත්‍රපට, නාට්‍යය, කෙටි නාට්‍යය,
සංගිතය, නර්තනය, වීදි නාට්‍යය, වෙදිකා නාට්‍යය මේ හැම එකකින්ම වත්මන් සාමාජ දේහය ප්‍රශ්න කිරීමකින් තොරව සමාජයට අනුගත කරයි. එය ජනතාවට ඔවුන්ගේ
සිතුම් පැතුම්වලට, දහසක් දුක් දෝමස්වලට බද්ධා කරයි.
නව ලිබරල් ධනවාදය තුල ගතකරන මිනිසා මේ සමාජයේ තම ජීවිත උගසට තබා, නැතිනම් වාරික වලට කඩා ජීවත් වේ. ඔවුන්ට දින 30ක් යනු මාසයක් නොව වාරිකයකි.
ඔවුන්ගේසෑම ශ්‍රම පැයක්ම ඔවුන් වෙන්කරනුයේ තෘප්තිය සදහා නොව වාරිකය ගෙවා දැමිම සදහාමය. 8-5 වැඩ කරන ජීවිත සවස් කල නිවෙස්වලට කඩා වදින්නේ
හෙට එලිනොවෙනවානම් කොපමණ හොදදැයි කල්පනා කරමිනි. ඒ අතර ඔවුන්ට පුංචි තිරයේ පෙන්වන විකාර බැලිමට වෙලාවක් නැත. සිනමා ශාලවක පෙන්වන දකුණු
 ආසියාවේ හොදම අධ්‍යකෂණය වෙනුවෙන් උපහාර ලද සිනමා කෘතියක් බැලිමට වෙලාවක් නැත, ඒකා-අධිපති, බකමූණා වීදි බසි, බල්ලොත්එක්ක බෑ මේ එකක්වත්
බැලිමට වෙලාවක් නැත. ඉතින් ඔවුන් අතට අහුවන දේ විචාරයකින් තොරව බලනවා විනා සිනමා කෘතියක් නොමැතිනම් කලා කෘතියක් බලා පෙහේලිකා විසදිමට 
අකමැතිය ඔවුන්ට අවශ්‍ය තෘප්තිය පමණක්ය. ඒ නිසා මෙකල joke කථා වෙන්ම  joke නලුවන්ද වඩා ජනප්‍රියතාවයකට පත්ව ඇත.
ඉතින් වත්මන් ධනවාදය මිනිස් ජීවිත සමග යකා නටන තත්වයක නෙලුම් පොකුණ ඉදිවුවාට මිනිස් ජීවිත තුල නෙලුම් පිපේද? අඩුම තරමේ විවෘතය සදහා ආරාධනා ලත් කලා
කරැවන්ටවත් එහි නාට්‍යයක් පෙන්විම සරල නැත. වේදිකාව තුලින් ජනතාව ඈත්කර හමාරය, කලාවෙන් ජනතාව ඈත්කර හමාරය. ජනතාව වෙනුවෙන් කලාව ප්‍රතිනිර්මාණය වන 
දවසක වේදිකාව තුලින් ජනතාව පරිකල්පනය කරන දවසක යලිත් සිනමා ශාලා පමණක් නොව රංග පීඨයන්ද ජනතාවගෙන් පිරියනු ඇත. ඔවුන් ඒ දවසේ කලාව තමන්ගේ කර ගනිවි
කලා කරැවා තමන්ගේ මාර්ගෝපාද්ශකයා, ගුරැවරයා බවට පත්කර ගනිවි. එතෙක් රංග පීඨයන් පමණක් නොව නෙලුම් පොකුණද ඉස්ගෙඩියන් ගෙම්බන් ලගින මඩ ගොහුරක්
වන්නේමය.

Friday, January 20, 2012

13 + ( Thirteen Plus)

සියල්ල සුදානම්ය.මාධ්‍ය ප්‍රකශයද අවසන්ය. බොහෝ දුරට හෙට අනිද්දා වන විට ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත්වීමට ඉඩ ඇත.
ඉන්දියානු විදේශ අමාත්‍ය  S.M ක්‍රිෂ්ණා දේශප්‍රේමි මහින්ද රාජපක්ෂ 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදිමකට
දේශපාලන විසදුමකට සූදානම් බව, එකග වූ බව ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශකයින් අනාවරණය කෙරිනි. එහි අනෙක් පුටුවෙ මෙරට විදේශ
අමාත්‍ය  G.L පීරිස් ද සිටියේය.
අප සියලුම දෙනා දන්නා ආකාරයට ලෝකයේ සෑම රටකටම අවශ්‍ය වන්නේ ආර්ථිකමය අතින් දියුණු වීමටය. එහෙයින් ඔවුන් ලෝකයේ
තමන්ට රිසි වෙළදෙපොල සොයා සැරිසරන්නීය.ඉන්දියාව ද ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් ලෙස තමන්ගේ වෙළදෙපොල සොයන ගමනේ
ලංකාව අභිමුඛ වන්නේ ඉතා වටිනා භූමියක් පරිද්දෙනි. දැනටමත් ලංකාවේ වෙළදපොලින් මොටර් සයිකල්,ත්‍රීවීල්,බස්,බෙහෙත්,ඇදුම්,
මාල ඒ වගේම නාට්‍ය,චිත්‍රපටි,රියලිටි ෂෝ මේ ආදි එකී නොකී බහුතරයක් මෙරටට එන්නේ ඉන්දියාවෙනි. එ නිසා ඔවුන්ට අවශ්‍ය ආර්ථිකමය
වෙළදෙපොල ඔවුන් ආක්‍රමණය කොට හමාරය. ආර්ථික ආධිපත්‍යය පමණක් නොව දේශපාලන ආධිපත්‍යය ද ලබා ගැනිම ඉන්දියාවේ කලක
සිට උපාය මාර්ගික අවශ්‍යතාවයකි.එ අනුව ඔවුන්ට අවම වශයෙන් උතුර හා නැගෙනහිර පළාත්වල ප්‍රාන්ත බලයක් හරහා ඔවුන්ට රිසි පාලනයක්
නිර්මාණය කර ගත යුතුය. මන්ද දැනටමත් උතුර හා නැගෙනහිර පළත්වල සම්පත් වැඩි ප්‍රමාණයක් ඔවුන් නතු කරගෙන හමාරය.මන්නාරම් ද්‍රෝණියේ
තෙල් සම්පත,ත්‍රීමලේ වරාය,තෙල් ටැංකි,විශේෂ ආර්ථික කලාපය, පුල්මුඩේ,සාම්පූර් ජැටිය,කන්කසන්තුරෙ සිමෙන්ති කම්හල හා යාපනය පුස්තකාලය,
රෝහල, විශ්වවිද්්‍යලය හා මර්ග පද්ධතිය නවීකරණය හා නඩත්තුව, ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට මෙරටට එලන විදුලි කේබලය ආදි මේ සියල්ලම
ඔවුන් නතු කර ගෙන හමාරය.එහෙයින් ඉන්දියාවට උතුර හා නැගෙනහිර තීරණාත්මකය. දේශපාලන ආධිපත්‍යය උදෙසා මේ පළාත් කඩා වෙන්කර
ගැනිමට කලක පටන් උත්සහ දැරීය. එහි ප්‍රතිඵල දැන් අද හෙටම දැක බලා ගත හැකියි.
                                                                                              අප රටේ ජාතික ප්‍රශ්ණය තවමත් අවසන් වී නැත( එය L.T.T.E ප්‍රශ්ණය නොවේ)
එහි ප්‍රතිඵලයක් ලෙස බෙදුවාදි ත්‍රස්ථවාදයක් දශක තුනකට අධික කාලයක් පැවතුනි. තවමත් නොවිසිදුණු ජාතික ප්‍රශ්ණය සදහා ඉක්මන් විසදුමක් අවැසිය
එය සිංහල ජාතිකත්වය දෙමල ජාතිකත්වය  වෙන්ව යන හෝ වෙන් කරන විසදුමක් නොවිය යුතුය.එමෙන්ම අප රටේ සියලු ජාතිකත්වයන්ට එකට සිටිය
හැකි විසදුමක්ද විය යුතුය.ඒ සදහා ලාංකිකයන් වන අපට උවමනාවක් කැක්කුමක් වෙන රටක එකෙකුට වඩා තිබිය යුතුමය. අප සියලු දෙනා එක්ව  අපට
අවශ්‍ය දේශපාලන විසදුමකට යනවා වින එක එකාගේ අවශ්‍යතාවයට එක එකාගේ බලයේ රැදිමේ උවමනාවට විසදුම් සෙවිය යුතු නැත.


අවශ්‍ය 13 + පරාජය කිරිමද නොවේ.13 + ජයග්‍රහණය  කිරිමද නොවේ.එහෙත් මේ වන විට ආණ්ඩුවේ ඇතැම් ඊනියා දේශප්‍රේමීන්ද, අපේ රටේ
වම්මුන් යැයි කියා ගන්නා J.V.P  කාරයෝද මෙලහකටවත් කැහැපොට ගහනවා ඇත. එහෙත් එ එකදු ක්‍රියා මර්ගයක්වත් මේ අර්බුධයට විසදුම නොවන්නනේය.
[ ජාතික ප්‍රශ්නය අරඹයා වෙනත් දිගු සාකච්චාවක් ඇරඹිමට අප සූදානම්ය]  කෙසේ වෙතත් ජනතාවගේ දැනුවත් භාවයකින් තොරව ආණ්ඩුව යම් දේශපාලන
විසදුමකට යන්නේ නම් එය උතුර නැගෙනහිර ප්‍රශ්ණයක් පමණක් නොවනු නොවනු ඇත. යාපනය හෝ උතුර අමතක කර පාලකයන්ට තම පාලනය ගෙන යා
හැකි වුවද රටේ ජනතාවට උතුර අමතක කල නොහැක. වත්මන් කඩ ඉම රටට තීරණාත්මක වන්නේ එබැවිනි.

Monday, January 16, 2012

නුඹ දන්නවා නම්...

නුඹ දන්නවා නම් පෙම් කරන්න
පෙම් කරනු මැනවි
එකෙකුට නොව
මුළු ලොවටම

නුඹ දන්නවා නම්
යථාර්ථය දකින්න
නුඹේ නොව
මේ මුළු ලෝකයේම.....

නුඹ දන්නවානම්
හිරු සඳු තරු
ලොව වර්ණවත් කරන බව
එළියක් වනු මැන
මුළු ලෝකයටම

පියා සලන්නට නොහැකි නම්
ඉරිසියා නොකරනු මැනවි
ඈත දුර අහස මත
නිදහසේ සැහැල්ලුවෙන්
පියාඹන විහඟ කැළට
එවිට පෙම් කරාවි
මුළු ලොවම ඔබට
යළි යළිත්.....

Saturday, December 31, 2011

සයිබර් අවකාශය ලිබරල්කරණයෙන් ඔබ්බට

ලාංකීය වත්මන් දේශපාලන භූමිකාව තුළ එහි සියලු සමාජගත දේහයන් අර්බුදයටම යමින් තිබේ. එය ඉතාම ඛේදනීය අවසානයක ඇරඹුමක් සටහන් කරමින් සිටී. ලාංකීය දේශපාලනය නව පන්නයේ දේශපාලන මගක්, නව නායකත්වයක්, නව අරගල විධීන් ඉල්ලා සිටී. වත්මන් අර්බුදය විසින් මතු කර ඇති අවස්ථාව තේරුම්ගත හැක්කේ එලෙසය. එය වත්මන් සමාජයේ අභියෝගයයි.

 එකී අභියෝගය අර්බුදයේ අභියෝගය වන විට එම අභියෝගය තේරුම් ගැනීම හා ඊ‍ට විසඳුම් සෙවීමට මැදිහත්වීම එම අභියෝගයේ අර්බුදය බවට පත්ව ඇත. මේ සඳහා දේශපාලන ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වය සාකච්ඡා කිරීම ‍මීට‍ පෙරත් සිදු කර ඇති බැවින් ඉදිරියේදීත් එවැනි බලාපොරොත්තුවක් ඇති නිසා අපද මැදිහත්ව සිටින Syber Space පිළිබඳව සාකච්ඡා කිරීමට කැ‍මැත්තෙමු. විශේෂයෙන්ම මෙහිදී අප නෙත ගැටෙන්නේ සිංහල blog අඩවියන්ය.

 නව තාක්‍ෂණික භාවිතාව සමග වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ එක් පැතිකඩක් වූ සිංහල බ්ලොග් අඩවි යනු බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හෝ තනිවම හෝ පවත්වාගෙන යා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැක. එකී blog අඩවි වර්තමානයේ පිරික්සන විටෙක ඒවා විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය කරන බවක් දැකිය හැක. කලාව, තාක්‍ෂණය, සංස්කෘතිය, ලිංගිකත්වය, ෆැසිස්ට්වාදය, ධනවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ලිබරල්වාදය, අවස්ථාවාදය, ජාතිවාදය බැරිම නම් නිදහස්වාදය ගැන හෝ ලියමින් සිටී. ප්‍රශ්නය වන්නේ ද මෙම අඩවි වල පවතින නිදහස්වාදයමය.

 විටෙක වීදියේ සටනට පක්‍ෂවද, විටෙක විපක්‍ෂවද, රෙජීමයට පක්‍ෂවච, විටෙක විපක්‍ෂවද හිතට දැනෙන හැඟෙන දේ කුරුටු ගාමින් ඇත. ඒවා කියවන අය සිතන්නේ මේවා ලියන්නේ මහා කෙරුමෝ කියාය. මොවුන් ඒ තරම් ම කැරළිකරුවෝය. අවි අමෝරා‍ගෙන කුරුටු ගාන්නේ බලන උන්ගේ ඉහමොල රත් වෙන්නටය. එය විටෙක ජවසම්පන්නය. විටෙක එය සටන්කාමීය. විටෙක විප්ලවකාරීය. එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ඔළු පලාගන්නේ නැතිව, හිරබත් කන්නේ ද නැතිව සියල්ලටම ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් ඇත. විටෙක මෙකී සංවාදයන් එකිනෙකා යට කරගන්නා අදහස් විනා ඉන් කියවන වුන්ට මෙලෝම වැඩක්වත් නැත. අවසානයේ සයිබර් අවකාශය එකිනෙකාගේ යුද පිටියක් බවට පත්ව මූලික ප්‍රතිවිරෝධය මගහරවා ගනී.

 තමාගේ රුචි අරුචිකම් මත සීමා මායිම් සකස් කර ගත් අයද මෙහි දැකිය හැක. එවැනි අයට තමා ජීවත් වන රෙජීමය රවුම්ද, හතරැස්ද යන්න අදාළ නැත. ඔවුන්ට තමාගේ රුචිකම් වලට අනුව ලියන්නට බොහෝ දේ ඇත. ඒ නිසාම ඔවුන්ද ඇතුළත් සමාජයේ බහුතරය වූ පීඩිතයා ඔවුන්ට මගහැරී ඇත. එමෙන්ම ඔවුන්වද පීඩාවට පත් කරන දුෂ්ඨ පීඩකයාද මගහැරී ඇත. මෙකී සියලු භාවිතාවන් අප අත්දුටු සයිබර් අවකාශයේ ලිබරල්කරණයයි. වත්මන් දේශපාලන මොහොතේ දී අරගලකරුවාගේ අනෙකා විය යුත්තේ පීඩකයා බව අපගේ විශ්වාසයයි. එහෙත් පීඩකයා අනෙකා කරගන්නවා වෙනුවට තමාගේම ගමන් සගයා අනෙකා බවට පත්ව එල්ල වන ෂෙල් ප්‍රහාර වලින් ද බර අවි වලින් ද පොදු සාමූහික අරගලය වල් වැදී ඇත. එය ඉතා පටු ගෝත්‍රික හැඩයක් ද ගෙන ඇත. එවැනි භාවිතාවක් දිගින් දිගටම පෙන්නුම් කරන blog අඩවිකරුවා ස්වයං වින්දනයක යෙදී ඇතැයි නිගමනයකට පැමිණීමට ද හැකියාවක් ‍ලැබෙන අතර මෙකී භාවිතාව විසින් ඔවුන් රැඩිකල්වාදී පුරුෂයන් බවට පත් කිරීමද අහම්බයක් නොවේ.

මෙකී හේතුව නිසාම blog අඩවි කරුවා ඉතා පටු පුද්ගලික මාර්ගයන් ඔස්සේ දිවයාම අරඹා ඇත. එහි කූටප්‍රාප්තිය වනුයේ මොවුන් එක් වේදිකාවක් තුළ වඩා හිඳුවා ගැනීමය. මොවුන් එක් සංවිධානයක් යටතට ගැනීමය. තමාගේ වේලාවෙන් සොරකම් කර ගන්නා කාලයක් තුළ රැඩිකල් මානයකට තමාවම ඔසවා තබා ගනිමින් ස්වයං වින්දනයක යෙදීම වෙනුවට blog අයිතිකරුවන් සත්‍යවාදීන් ලෙස සටන් කරන එක් පෙරමුණකට පැමිණීම අද දවසේ නව අරගල මානයක් ලෙස අප දකී.



වත්මන් ඓතිහාසික හැරවුමේ දී ඉල්ලා සිටිනුයේ එවැනි භාවිතාවක් මිසක පුටු රත් කරන, විප්ලවීය පාඨයන් ලියා තබන, තමාගේම සගයාට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන භාවිතාවක් නොවේ. එකී හැරවුමට blog අඩවි කරුවාද සූදානම් වන්නේ නම් එය ලාංකීය භූමිය තුළ සිදු වන ඓතිහාසික අරගල දහසක ආරම්භය බවට පත් වනු ඇත. එය නව මානයක මාධ්‍ය භාවිතාව වනු ඇත. එය පීඩකයාට උඩින් සිට පීඩකයා ඔසවා තබා ගන්නා ක්‍රියාදාමයක ආරම්භය වනු ඇත.

නව මිනිසෙක්! අරගල දහසක්!! උපදින නව වසරක්!!!

නව මිනිසෙක්!
අරගල දහසක්!!
උපදින නව වසරක්!!!