Saturday, December 3, 2011

ලිංගික නිදහස හා ආර්ථික නිදහස

අපේ ආරම්භය දකින ඕනෑම කෙනෙකුට සම්ප්‍රදාය, විනය, සදාචාරවත් බව හදිසියේම මතක් වන්නේ නම්, එය පුදුමයට කරුණක් නොවන බව අපි සඳහන් කරමු. ඊට හේතුව අප ජීවත් වන සමාජය ලිංගිකත්වය පිළිබඳ කථා කිරීමට විනා නිදහසේ සිතීමටවත් ඉඩක් තබා නොතිබීම මගිනි. තවද අප ලිංගික නිදහසක් වෙනුවෙන් සංවිධාන අටවා, ඒ වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා, ජනතාව ඥාණනය කිරීමේ කටයුත්තක‍ට අතගසා නොමැති බවත්, අප ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමක් නොවන බවත් තරයේ අවධාරණය කොට සිටිමු.

එහෙත්, ශ්‍රී ලංකාව වැනි ගතානුගතික අදහස් උරමත දරාගෙන වර්තමානයේ සිට ඉතිහාසය හාරා අවුස්සමින් තම අනන්‍යතාවයක් ‍සොයා මිනිසුන් වෙසෙන සමාජයක පවතින සිර මැදිරි එකින් එක බිඳ දමමින් නිදහස් මිනිසුන් බිහි කිරීම අපේ අරමුණ වී ඇත්තේය. එහෙයින් ආරම්භයෙන් නොව අවසානයෙන් අපගේ වෑයම තේරුම් ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මිනිසාගේ ජීවිත කාලය තුළ ඔහු විසින් ඉටු කරනු ලබන ක්‍රියා රාශියකි. විටෙක ඔහු මිනිසා වෙනුවෙන්, ජීවයේ අඛණ්ඩතාවය වෙනුවෙන් සොයාගැනීම්, නිපදවීම් කරනවා පමණක් නොව ඊට ප්‍රතිපක්ෂව මිනිස් සංහතියේ විනාශයට ද කටයුතු කරනු ලබයි. විටෙක උචිත පරිදි ස්වභාවදහම ද වෙනස් කරන ඔහු, තවත් ‍විටෙක ස්වභාවදහමේ විනාශයන්ට ද මුහුණ දෙනු ලබයි.

කෙසේ වෙතත් ජීවීන්ගේ අඛණ්ඩතාව නොනැසී පවතී. ඊට හේතුව කුමක් ද? ජීවීන්ගේ අඛණ්ඩතාවය රඳා පවතින්නේ ප්‍රජනනය (Reproduction) මතය.මෙසේ පොදුවේ ජීවීන් ලෙස හැඳින්වූයේ මිනිසා ඇතුළු සත්වයින් හා ශාකය. සියල්ලම ප්‍රජනනය මත තම වර්ගයා බෝ කරනු ලබයි. මෙය කොටස් ‍02 කි. එනම් ලිංගික ප්‍රජනනය හෙවත් ජන්මාණු හරහා ජීවයක් බිහි වීම හා අලිංගික ප්‍රජනනය හෙවත් මව් ජීවියා කොටස් වලට කැඩීමෙන් ඊට බෙහෙවින්ම සමාන ජීවියෙකු හට ගැනීමයි.

මින් මිනිසාට අදාළ වන්නේ ලිංගික ප්‍රජනනයයි. මෙය මිනිසා විසින් ඉටු කරනු ලබන්නේ තම වර්ගයා බෝ කර ගැනීමේ අරමුණ ඇතිවය. මෙය ජීව විද්‍යාත්මක කරුණකි. එය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකි. පරිණාම ක්‍රියාවලියේ දී වඩාත් ම වැදගත් වන්නේ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු එකතු වීම හෙවත් සංසේචනය මත බිහිවන යුක්තානුව වර්ධනය වීමෙන් නව ‍ජීවයක් හට ගැනේ. මෙම සංසේචන ක්‍රියාවලිය ද කොටස් 02 කි. එනම් බාහිර සංසේචනය හා අභ්‍යන්තර සංසේචනයයි. බාහිර සංසේචනයේ දී සිදු වන්නේ, විශේෂයෙන් ම ජලජ ජීවීන් විසින් සිදු කරනු ලබන්නේ ජලයට තම ජන්මානු නිකුත් කිරීමයි. මෙහි දී ගැහැණු හා පිරිමි ජන්මාණු එකතු වී යුක්තානුවක් බිහිව ජීවය හට ගනු ලබයි. එහෙත් අභ්‍යන්තර සංසේචනයේ දී සිදු වන්නේ පිරිමි ජන්මාණු ගැහැණු සත්වයාගේ ප්‍රජනනය තුළ තැන්පත් කිරීමය. ඒ අනුව වඩාත්ම ඵලදායී හා ආරක්ෂාකාරී වන්නේ දෙවැනි ක්‍රමයයි. මිනිසා නමැති දියුණු සත්වයා අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රමයයි. ඔහුගේ ප්‍රජනන පද්ධතිය ඉතා සංකීර්ණ ලෙසත්, මනා ලෙසත් ඊට සංවිධානය වී ඇත.

මෙම කරුණ සටහන් කිරීමට සිදු වූයේ අපගේ අරමුණ වෙත ඔබව ගෙන යාමට පහසු කරවීමට ය. මිනිසාගේ අඛණ්ඩතාවය තීරණය වන්නේ ප්‍රජනන ක්‍රියාවලිය මතය. ඒ සඳහා ස්වභාවධර්මයා ඉඩ සලසා ඇති අතර, ගැහැණියක හා පිරිමියෙකු එක් වීම අනිවාර්ය කරුණකි. එය ඉතාම තෘප්තිකර මොහොතක් බව සත්‍ය වුවත්, එය එවැනි හැඟීමක් දනවා ඇත‍්තේ ස්වභාවදහමට නව ජීවයක් බිහි කර ගැනීමේ උවමනාව මතය.

එහෙත් පිරිමියාට එය තෘප්තිකර අවස්ථාවක් වන්නේ තමාගෙන් ශුක්‍රාණු පිට වන තෙක් පමණි. ඊට ද හේතු වන්නේ මෙම ක්‍රියාවලිය හුදෙක් ම සමාජයේ අනාගතය වෙනුවෙන් නොඑසේ නම් ජීවයේ අඛණ්ඩතාවය පමණක් ම වෙනුවෙන් නිර්මාණය වූවක් නිසාවෙනි. මේ අනුව ලිංගිකත්වය යනු මානව අවශ්‍යතාවයකි. තම වර්ගයා බෝ කිරීමට ස්වභාවදහම විසින් පවරා ඇති වගකීමය. මෙම කරුණු තේරුම් ගත යුත්තේ එපරිද්දෙනි.

එහෙත් ලිංගිකත්වය ගැන කථා කරන විට මිනිසුන්ගේ මුහුණු බිමට හැරවෙන්නේත්, එය කථා කිරීමට තරම් නුසුදුසු මාතෘකාවක් බවට පත් වන්නේත් අප අතරේ පවතින නටඹුන්ගත නිදන්ගත ආකල්ප හැර වෙන අන් යමක් නොවේ. ලිංගිකත්වය ගැන කථා කිරීමට යාමේ දී එය වල් කථාවක් යැයි පවසා කුණුහරුපයෙන් ම බනින්නේත් ඒ නිසාවෙනි.

එහෙත් එහි ප්‍රතිඵලය වී ඇත‍්තේ කුමක් ද? ශිෂ්‍යයා අත ජංගම දුරකථන ය. ඒවායෙහි අසභ්‍ය දර්ශන ය. ඔවුන් එයින් තෘප්තිමත් වීමට පුරුදු වේ. සති අන්ත පුද්ගලික පංති යන අපේ දරුවන් නතර වන්නේ එදා මෙන් ළඳු කැළෑ වල නොව "දියවර", "නිල් නදී" වැනි තානායම් වල ය.ඔවුන් තෘප්තිමත් වන්නේ එසේය. බස් රථ වල, දුම්රිය තුළ සිදු වන ලිංගික හැසිරීම් ද තෘප්තිමත් වීමේ ආකාරයන් ය. සිනමාහල් වල, සතුටු උයන් වල මෙන්ම අනියම් සබඳතා හරහා ද සිදු වන්නේ මෙම ආකල්පයන්ගෙන් වැට බැඳ ඇති අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමකිය.

ඉතිං සිදු විය යුත්තේ කුමක් ද? ගැහැනියක හා පිරිමියකු එකතු වීමට ඇති බාධා කවරේ ද? ඇත්තෙන්ම ලිංගිකත්වය යනු හුදෙක්ම ආදරය හා ආධ්‍යාත්මික සබඳතාවය මග හැර තෘප්තිමත් වීමේ ක්‍රියාවලියක් පමණක් ම ද? නැත... කිසිසේත්ම නැත. ලිංගික සබඳතාවක් ඇති වීමට මත්තෙන් ගැහැණිය හා පිරිමියා අතර ආධ්‍යාත්මික සබඳතාවක් සිදු විය යුතුය. එහෙත් සිදු ව ඇත්තේ කුමක් ද? සමාජයේ අති මානුෂීය සබඳතා දෙදරා ගොස් ඇත. අධ්‍යාත්මික සබඳතා පුපුරා‍‍ ගොස් ඒ වෙනුවට ආර්ථික සබඳතා මතු වී ඇත. අප කා අතරේත් අද පවතින්නේ අධ්‍යාත්මික සබඳතා නොව ආර්ථික සබඳතාය.

මිනිස් ශරීරය විසින් ඉල්ලා සිටිනු ලබන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය ආර්ථිකය මත මිරිඟුවක් බවට පත් කර ඇත.දෙදෙනාගේ සබඳතාවය තීරණය කරනුයේ අධ්‍යාත්මය මත නොව රැකියාව, සමාජ තත්ත්වය මතය. ඔවුන්ගේ එකතුවීම හුදෙක් පුද්ගලයන්ගේ එකතු වීමක් නොව දේපොළ වල එකතු වීමකි.නිසි වියට පැමිණි තරුණ යුවලක් විවාහ වීමට ඉ‍ටු කර ගත යුතු කරුණු ලෙස රැකියාව, දෑවැද්ද හා දේපොළ අනිවාර්ය අංගයක් බවට පත් කොට ඇත. පිරිමියාගේ ප්‍රජනන පද්ධතිය තුළ දෛනිකව ශුක්‍රාණු නිපදවීමත්, ගැහැනිය තුළ දින 28 කට වරක් ඩිම්බයක් මෝචනය වීම සිදු වේ. එවිට ලිංගික හෝමෝන උත්තේජන වේ.

ඒ විසින් ඉල්ලා සිටිනුයේ එවන් ක්‍රියාකාරකම් වල නිරත වන ලෙසය.‍එහෙත් රැකියාවක් ලැබෙන තුරු, නිවසක් හිමි වන තුරු, දෑවැද්ද සොයා ගන්නා තුරු ගැහැණියක හා පිරිමියකු විවාහයක් හරහා එකතු වීම කල් දැමීමට සිදු වේ. දිනෙන් දින රැකියා අහිමි වන සමාජයක රැකියාවක් සොයා ගැනිම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. දිනෙන් දින වැටුප් වැඩි වීම් ඉල්ලා ජීවන බර අඩු කරන ලෙස ඉල්ලා රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පවතින සමාජයට එරෙහිව අරගල කිරීම හැර රටේ තරුණ ප්‍රජාවට ඉතිරි වී ඇත්තේ කවරක් ද?

සමාජයේ පීඩනය ශරීරයට ඔරොත්තු දෙන්නේ නැත. ශරීරය ඉල්ලා සිටින්නේ ඒ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයයි. එහෙයින් මිනිසා දැවැන්ත ලිංගික පීඩනයකට නිතරම ගොදුරුව සිටී. එම පීඩනය එතරම් සරල නැත.ශරීරය ඉල්ලා සිටින අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ තව කෙනෙක් සමග එය බෙදා ගැනීමෙනි. නමුත් වැටුප් වැඩි වීම සඳහා, රැකියා ලබා ගැනීම සඳහා එක්ව අරගල කළ ද, මේ සඳහා එක්ව අරගල කිරීමට තබා කථා කිරීමටවත් නිදහසක් නොමැත.

එහෙයින් දිනෙන් දින ස්ත්‍රී දූෂණ වැඩි වීම, ගණිකා වෘත්තියේ යෙදෙන්නන් වැඩි වීම, කැරෝකේ ශාලා වල සිදුවීම් වැනි සිදුවීම් දෛනිකව අසන්නට ලැබේ. මෙම පීඩනය මත මිනිසා ජීවත් වේ.ප්‍රශ්නය ඇත්තේ කොතැනද? මිනිසුන් අතර ඇති අති මානුෂීය සබඳතා දෙදරවා ඇත‍්තේ ආර්ථික සබඳතා විසින් ය. එහෙයින් අධ්‍යාත්මික සබඳතා නැවත ඇති කිරීමට නම්, මිනිසා හෙට්ටු කර ඇති, එකිනෙකා සතුරු කරවා ඇති මෙම දූෂිත, පිළිකුල් සහගත සමාජ ක්‍රමය වෙනස් කළ යුතුව ඇත. ඒ අනුව ලිංගික නිදහස ඇති කර ගත හැකි වන්නේ සමාජ ක්‍රමය වෙනස් කොට ලබන්නා වූ ආර්ථික නිදහස තුළම පමණි.
ඉඩ දෙන්න හදවතට නොව බුද්ධියට සිතන්න........
ඒ හදවත හැඟීම්බර වන නිසාත්, බුද්ධිය බුද්ධිමත් වනු ඇති නිසාත්.........!

0 comments:

Post a Comment