Wednesday, December 7, 2011

වමට සිග්නල් දමා දකුණට හැරවීම

මාර්ගයක වාහන භාවිතයේ දී අප දන්නා theoryයක් ඇත. ඒ නීත්‍යානුකූල ලෙස රිය පැදවීමයි. ඒ සඳහා බොහෝ නීතිමය මෙන්ම සදාචාරාත්මක කාරණා ද ඇතුළත්ය. එහෙත් බොහෝ අවස්ථාවලදී අප දකින්නේ මෙම කිසිදු බැඳීමක් අදාළ නොවන වාහන රියැදුරන් සිටින බවය. ඔවුන් අතින් සිදුවන රිය අනතුරු හේතුවෙන් කිසිත් නොදන්නා අසරණ මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක්‍ මේ වන විටත් අහිමි වී තිබේ.

මේ කාරණාව මුලින්ම සඳහන් කිරීමට සිත්වූයේ අද දවසේ සිදුවන දේශපාලන විචලනයන් දෙස විමර්ශනාත්මකව බැලූ විට තේරුම් ගත හැකි ජුගුප්සාජනක කාරණා හේතුවෙනි. වත්මන් ජාතික මෙන්ම ජාත්‍යන්තරව සිදුවන දේශපාලන විචලනයන් වල නිවැරදි සමත් ව්‍යාපාර නොමැති වීම හා නිවැරදි දැක්මක් සහිත ජනතාවක් නොමැති වීම හේතුවෙන් අයාලේ යමින් පවතී. ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ පසුවට කතා කිරීමේ අරමුණ සහිතව වත්මන් ලාංකීය දේශපාලන සන්දර්භය තේරුම් ගැනීමට උත්සාහ කරමු.

විශේෂයෙන්ම රාජපක්‍ෂ ආණ්ඩුව ඔවුන්ම පවසන පරිදි තමන්ගේ හොඳම කාලය ගත කරමින් සිටින අවධියක එජාපයේ සහ ජවිපෙ අර්බුද තේරුම් ගැනීම වැදගත් යැයි හැඟේ. පසුගිය දිනක එජාපයේ 68 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද ආණ්ඩුවට එක් විය. ජවිපෙද නැවත එක් නොවිය හැකි ලෙස බෙදී වෙන් වී ඇත. එය දෙකට බෙදී ඇතැයි කිවහොත් සැබැවින්ම වැරදිය. ලැබෙන තොරතුරු වලට අනුව ජවිපෙ වාමාංශික ප්‍රවණතාව සමග සාමාජියත්වයේ බහුතරයක් එකතු වී ඇතැයි පැවසේ. කෙසේ නමුදු අද ලාංකීය දේශපාලනය සාමාන්‍ය අයෙකුට තේරුම් ගැනීමට නොහැකි ලෙස ව්‍යාකූල වී තිබේ. එජාපයේ පරාජයත්, බෙදීම් තවත් කලකට පවතිනු ඇතැයි ඔවුන්ගේම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ආණ්ඩුවට එකතුවීමේ සූදානමක් ඇතැයිද, ඒ නිසාම රනිල් හා සජිත් පාර්ශව ලෙස බෙදීම තීව්‍ර වෙමින් පවතින බවද දැනගන්නට ඇත. පසුගිය දිනක හයිඩ් පිටියේ පැවැත්වූ උද්ඝෝෂණය හුදෙක්ම සජිත්ට එරෙහිව රනිල්ගේ බාහු බලය පෙන්වීමක් යැයි පැවසීම නිවැරදිය. එහිදී කිසිදු කථාවක් සජිත්ට නොදීමට රනිල් වග බලා ගත්තේය. මේ අනුව රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහි සටන ඔවුන්ගේ බාහු බලයන් පෙන්වා ගැනීමේ සටනක් බවට පත්ව ඇති බව නොරහසකි. එමෙන්ම ජවිපෙද වත්මන් දෙකෙහිම බලය පසුගියදා උරගා බැලුවේය. ඒ නොවැම්බර් 13 දින ඔවුන් විසින් පවත්වනු ලැබූ විරු සමරු දිනයේදීය. ජවිපෙ නිල පාර්ශවය විහාරමහා දේවී එළිමහන් පිටියේදී ද, වාමාංශික ප්‍රවණතාවය සුගතදාස ක්‍රීඩාපිටියේදී ද තම බලය ප්‍රදර්ශනය කළේය. එහිදී සමාන බලයක් දෙපාර්ශවයටම ඇතැයි පෙනුමෙන් සිතූවද එහි නිවැරදි ගණන් බැලීම් සමග වාමාංශික ප්‍රවණතාවය තමන්ගේ ශක්තිය ඕනවටත් වඩා පෙන්වා ඇති බව නොරහසකි.

කෙසේ වෙතත් වත්මන් ලාංකීය දේශපාලන මොහොත ඉල්ලා සිටින්නේ එකිනෙකා‍ගේ බලය ප්‍රදර්ශනය කරන හා තම පාක්‍ෂිකයන් 'චූන්' කරන ක්‍රීඩා පිටි හෝ ගොඩනැගිලි පිරවීම නොව සමස්ථ ක්‍රියාවලියේම වෙනසකි. එය හුදෙක් ආණ්ඩු විරෝධයක් නොවිය යුතුය. එය ක්‍රම විරෝධී බවට පත් විය යුතුය. එය රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කරනවා වෙනුවට සමස්ථ ක්‍රමයම පරාජය කරන්නක් බවට පත් විය යුතුය. එහිදී වාමාංශික සංවිධානයක ක්‍රියාකාරිත්වය බෙහෙවින් වැදගත්ය. අපි දැනට හඳුනාගෙන සිටින වමේ කණ්ඩායම ජවිපෙ බව සමාජයම තහවුරු කරනු ලබයි.

එහෙත් පසුගියදා ඔවුන් විසින් ගන්නට යෙදුනු ක්‍රියාමාර්ග දෙස බැලූවිට ඔවුන්ගේ අස්ථානය 'වම' ද යැයි කුකුසක් පැන නගී. ජවිපෙ විසින් පැවැත්වූ තරුණ පාගමනකට පසුගිය දා ආණ්ඩුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විණි. එහි සහභාගී වූ පිරිස ගැන බැලූ විට පන්සීයකටත් වඩා අඩු ඉතා කුඩා කණ්ඩායමක් බව පැහැදිලිය. මේ මොහොතේ පවතින දේශපාලන අරාජිකත්වය ඉල්ලා සිටින්නේ සමස්ථ පීඩිත බලවේග වල සාමුහිකත්වයක අරගලයකි. එමෙන්ම ‍කොළඹට එක්රැස් විය යුත්තේ ලක්‍ෂයක් ‍මිස පන්සීයක් නොවේ. ලක්‍ෂයක් එක්කළ යුතු මොහොතක පන්සීයක් රැස්කොට රාජපක්‍ෂ ආණ්ඩුව ශක්තිමත්යැයි තහවුරු කිරිම ජවිපෙ විසින් කරන දේශපාලන තකතීරුකමකි. එපමණක් නොව මෙම පා ගමන එක්තරා රූපවාහිනී නාලිකාවක් සජීවී ලෙස විකාශනය ද කර ඇත. මේ දෙක අතර සම්බන්ධයක් ඇතිවීදැයි නොපෙනුනද මේ සියල්ල තුළ යටිපෙළක් ඇතැයි සිතිය හැක. එජාපය හයිඩ් පිටියේද ජවිපෙ කොළඹ කොටුවේද ලෙස තම දියවී යන බාහු බලය රැක ගැනීමට දැරූ උත්සාහයන් ලෙස මෙම සටන් පෙන්වා දිය හැක.

එපමණක් නොව ජවිපෙ අභ්‍යන්තර අර්බුද ද තව තවත් උග්‍ර වෙමින් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ජවිපෙ සමුළුවක් ජනවාරි මස දී කැඳවීමට යන බවත්, එහිදී නායක සහ ප්‍රධාන ලේකම් ධූරයේ වෙනසක් ඇති වන බවත් සඳහන්ය. ප්‍රධාන ලේකම් ධූරය සඳහා දැනට බිමල් රත්නායකගේ නම යෝජනා වී ඇති අතර, ඒ සඳහා දැනට බහුතරයකගේ විරෝධය එල්ල වී ඇති බවද සඳහන්ය. ඔහු දේශපාලන මණ්ඩල සභිකයෙකු නොවීමත්, දැනට දේශපාලන මණ්ඩලයේ සිටින ලාල්කාන්ත,අනුර, විජිත වැනි ජ්‍යෙෂ්ඨයන්ට තනතුරු නොලැබීමත් මෙයට හේතුවන බව ආරංචිය. බිමල් රත්නායකට මෙම ධූරය පිරිනැමුවහොත් එහි ප්‍රබලයෙක් ආණ්ඩුවට එකතුවීමට දැනටමත් සූදානම් බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අතර අනුර දිසානායක යෝජනා කර ඇත්තේ රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමට නම් විපක්‍ෂයක් ලෙස එකට එක්ව සටන් කළ යුතු බවයි. ඒ අනුව එජාපය සමග කරන හවුල් සටනක් ඔහු යෝජනා කර සිටී. නමුත් එයට‍ සෝමවංශ ටිල්වින් දෙදෙනා එකඟ වී නොමැත. ඊ‍ට එකම හේතුව වන්නේ දැනට ජවිපෙ වාමාංශික ප්‍රවණතාවයට ඒ හරහා සමාජයේත් පාක්‍ෂිකයා තුළත් නිවැරදි යැයි හැඟීමක් ලැබීමයි. ඒ අනුව ඔවුන්ගේ අර්බුදය සුළුපටු නොමැත. එළියට පෙන්වා ඇති සත්‍යය අභ්‍යන්තරයේ නැත. සමාජයට ඔවුන් වම යැයි කෑගැසුවද ඔවුන්ගේ වමක් නොමැති බව මේ සියල්ල හරහා අපට පැමිණිය හැකි නිගමනය වේ. ජවිපෙ වමට සිග්නල් දමා ඇත. එහෙත් ඔවුන් දකුණට හරවා ඇත. නො‍එසේ නම් තමන් වමට හරවන බව පමණක් සමාජයට පෙන්වමින් ඇත.

අපි ජවිපෙ දෙස වැඩියෙන් කථා කළේ මේ ක්‍රමයේ වෙනසක් අපි අපේක්‍ෂා කරන නිසාවෙනි. ජවිපෙ ඒ සඳහා පුරා වසර 46 ක් උත්සාහ කළ නිසාවෙනි. කෙසේ වෙතත් පීඩිත ජනතා අපේක්‍ෂා හුදෙක් සිහින බවටම පත් කරමින් සමාජ ක්‍රමයේ සංශෝධනවාදී ප්‍රවණතාවයක් බවට ජවිපෙද පත් වෙමින් ඇත.

දැන් සමාජය කළ යුත්තේ කුමක්ද? අපට අනුව නම් මෙම අර්බුදය විසඳීම පිණිස පළමුව කළ යුත්තේ නිර්මාණශීලී න්‍යායික ක්‍රියාකාරිත්වයකි. එමෙන්ම ලාංකීය වාමාංශික දේශපාලන සංවාදය සමාජගත කිරීමය. එහි ක්‍රියාකාරිත්වය සඳහා සමාජයේ බහුතරය දිනා ගැනීමය.

කෙසේ වෙතත් මේ මොහොතේ අපගේ මැදිහත්වීම වනාහී, වාමාංශික සංවාද ප්‍රතිජනනාත්මක ප්‍රතිඵල ඇති කරවන, සමාජය වත්මන් රාජපක්‍ෂ හෝමොතියෙන් ගලවාලන නිර්මාණාත්මක මැදිහත්වීමක් කරන්නේ කෙසේද යන්නට ඔබ සමග යම් අභ්‍යාසයක නියැලීමයි.

0 comments:

Post a Comment