Tuesday, December 20, 2011

We are the 99%

සාතිශය සමාජය වල්මත් වී ඇති බව කිරිගරුඬ මෙන් පැහැදිලිය. වල්මත් වූවන් සොයා ඔවුන්ව සංවිධානය කර ගත හැකි නම් එය අද දවසේ වටිනාම කාර්යය වන්නේ යයි අපට සිතෙන්නේ ඇඟේ අමාරුවකට නොවේ. එහෙත් මේ සදහා මූලික විය යුත්තේ කවුද? ග‍්‍රාමීයව සමෘද්ධි සමිතිය, මරණාධාර සමිති මෙන්ම මහිලා සමිති, යොවුන් සමාජ ඇති පදමට ඇත. එහෙත් ඒ සියල්ලක්ම එක් නිශ්චිත කාරණා වෙනුවෙන් පමණක් නිර්මාණය වී ඇති වන්නාක් සේම, සමහරක් පාලකයන්ගේ න්‍යාය පත‍්‍රයට පමණක් සෑදුනු ඒවා වී ඇත. එසේ නම් මේ කාර්යය ඔවුන්ට කළ හැකිද? එය කළ හැක්කේ දේශපාලනය කරන වුන්ට පමණක් බව අපේ වැටහීමයි. විශේෂයෙන්ම විකල්ප දේශපාලන දහරාවකට වත්මන් සමාජයේ පවතින රික්තය අති විශාලය. එය පිරවීමට මෙතෙන් කිසිදු කණ්ඩායමකට හැකි වී නොමැති බවද මෙවෙලේම සටහන් කර තැබිය යුතුය.


රාජපක්ෂ රෙජිමය තුළ හිස උදුම්මාගත් සට්ටමිරාළලා මුලු මහත් සමාජයම ආශ්චර්යෙන් කලඹවමින් ඇත. ආශ්චර්යයේ පිවිසුම් විජරාමාන වූයේ මෙරට දුක් විඳින වල්මත් වූවන් සදහා නොව පැයට සැතපුම් සියයක වේගයෙන් යා හැකිවුන්ට පමණි. ඇස්ටන් මාටින්, ලිමෝසින්, රෝල්ස් රොයිස් වැනි වාහන ඇත්තවුන්ට පමණි. ඔවුන්ට සිහින නිර්මාණය කළ හැකිය. සාතිශය බහුතරයක් සිහින පසු පස දිව යා හැක. එවිට තව තවත් ඔවුන්ට ආශ්චර්යයේ මාවත් ඉදි කර දිය හැකිය. ඉදින් මේ වත්මන් හෝමොතියෙන් ගැලවී යා යුතුය.


එස සිදු කළ හැත්තේ හුදෙක් ආණ්ඩු විරෝධයකට පමණක් නොවේ. 13 ට එරෙහිව, 17 ට, 18 ට එරෙහිව සහන නැති සිහින ඇති අයවැයක් ගැන පවසමින් ඊට එරෙහිව බලය බෙදීමකට එරෙහිව, හුදෙක් වියුක්ත කාරණාවලට එරෙහිව වියුක්ත අරගල මතුකරමින් පමණක් වත්මන් රෙජිමයන් අතු ගා දැමිය නොහැක. එය ආණ්ඩු විරෝධි වනවා වෙනුවට ක‍්‍රම විරෝධි වෙමින් රාජපක්ෂ රෙජිමය වෙනුවට මුලු මහත් ක‍්‍රමයේ බිඳ වැටීමක් වෙනුවෙන් පෙරමුණ ගන්නා ව්‍යාපාරයකට පමණක් මෙය ජයග‍්‍රහණය කළ හැක. පසුගිය දා Wall Street තුළින් දුටු ජනතා සංකේත හෙට දිනයේ ලාංකීය සමාජයේ අනාගත අස්වැන්නක් උදෙසා රෝපණය නොවන්නේ යයි පැවසිය හැක්කේ කාටද?


එහෙයින් සියල්ල වෙනස් විය යුතුය. වත්මන් දේශපාලන තත්වයන් විසින් ඉල්ලා සිටින්නේ එවැන්නක් බව අපගේ වැටහීමය. අප සමාජයේ සියලු දේශපාලන ව්‍යාපාරයන් පැරණි වී ඉපැරණි වී ඇත. මේ කිසිවකට කිසිවක් කළ නොහැක. සුදු වාග්පාඨ වල පුණුරුච්ජාරණය තුළ ස්වයං වින්දනයක යෙදීමට ඔවුනට හැකිය. ඔවුන්ගේ පම්පෝරි ඔවුන්ටම සති අන්තයේදී කියවා ගැනීමට ඇති තරම් පත්තර පිටු සොයා ගත හැකිය.


එහෙත් සමාජය දෑස් දල්වා සිටින්නේ ස්වයං වින්දනයක යෙදීමට නොවන බව පැහැදිලිය. එසේ නම් එය කළ හැක්කේ බහුතරයේ සංවිධානය වීම තුළ හා නව පන්නයේ සමාජ ව්‍යාපාරයකටම පමණි. එය කළ යුතුයි.

0 comments:

Post a Comment