Friday, December 9, 2011

අරගලය

රතු හා කළු පසුබිමක අරගලය නමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එකවර රටපුරා
පෝස්ටරයක් ඇලවී තිබුණි. 04 දා රාත්‍රී අලවා තිබූ එම පෝස්ටරය කුමක්, කවුරු, කා සඳහා
ඇලවූවක්දැයි අපි කිසිත් දැන නොසිටීමු. එහෙත් ආකර්ෂණීය පෝස්ටරයක් රටපුරා ඇලවී තිබුණි.
දැන් දැන් මාධ්‍ය වාර්තා පලවන ආකාරයට එය ජවිපෙ වාමාංශික ප්‍රවණතාවය විසින් අලවන ලද
බවත්, ඔවුන් විසින් දෙසැම්බර් 13 දින පැවැත්වීමට නියමිත රැස්වීමක් පිළිබඳව දැනුවත් කිරීම උදෙසා
අලවන ලද්දක් බවත් පැහැදිලිය. කරුණු සොයා බලන විට ඔවුන් විසින් දෙසැම්බර් 13 වන දින
වාමාංශික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද නියමිතව ඇති බව තහවුරු වී ඇත. ඒ සඳහා ඔවුන් පෝස්ටර්
ව්‍යාපාරයක්ද, කොළඹ දී හා යාපනයේ දී මාධ්‍ය සාකච්ඡා දෙකක් ද පැවැත්වීමට නියමිතව ඇති බවත්
දැනගන්නට ඇත.

කරුණු එසේ වුවත් මෙම ආරම්භය කුමක්ද? ඔවුන් අර්ථ දක්වන ආකාරයට මෙය වාමාංශික
මධ්‍යස්ථානයක් ලෙස අර්ථ ගන්වා ඇත්තේ මන්ද? මෙය තවත් දේශපාලන පක්‍ෂයක් ද? ජවිපෙ වෙනුවට
ඉන් ඉවත්ව නිර්මාණය කරන ලද නව දේශපාලන ව්‍යාපාරයක් නම් එහි ඉදිරි පැවැත්ම හා කාර්යභාරය
කෙසේ වනු ඇතිද? සමාජ පරිවර්තනයක් අවශ්‍ය බව කොන්දේසි විරහිත සත්‍යයකි. එය ඉටු කිරීමට මෙම
මධ්‍යස්ථානය සමත් වේද? එවිට ජවිපෙ කාර්යභාරය තවදුරටත් කෙසේ වනු ඇතිද? අප පමණක් නොව
මුලුමහත් රටත් ලෝකයත් එදෙස බලා සිටිනු ඇත.

ලාංකීය වමේ ව්‍යාපාරය ඛේදාන්විත තත්වයකට ඇද වැටී ඇති මොහොතක ධනේෂ්වර නියෝජිතයන්
වම්මුන් හා කරට අත දමා ගැනීමට තැත් දරනා මොහොතක මේ ආරම්භය කෙසේ වනු ඇතිද යන්න අප
හැම තුළ දඟලන ගැටළුව බවට පත් වී ඇත. කෙසේ වෙතත් සියලුම දේශපාලන ක්‍රියාකාරීන්, සමාජ
ක්‍රියාකාරීන් නව ඇරඹුමක් ගන්නා වත්මන් මොහොත තුළ ලාංකීය වමේ ව්‍යාපාරයද නව ඇරඹුමක් ගත
යුතුමය. සාතිශය පීඩිතයන් සංවිධානය කරන හා ඔවුන්ට නායකත්වය සපයන, අයෝමය විනයක් සහිත,
සමාජ ව්‍යාපාරයකට වත්මන් සමාජයේ රික්තයක් පවතී. අපි සියලු දෙනා එදෙස බලා සිටිමු. එළැඹෙන
13 වන දින රටේ අනාගතය විසඳනු ලබන, සමාජ සාධාරණත්වය උදෙසා සටන් වදින මිනිස් බැඳියාවක
ආරම්භක දිනය වනු ඇත්ද? ඒ සඳහා යමක් පැවසීමට දැන් කල් වැඩිය. අපි නිහඬවම බලා සිටිමු.

0 comments:

Post a Comment