Tuesday, December 6, 2011

මේක පට්ට සමාජයක්.

පෑනකුයි, කොළයකුයි අතට ගත්තාම හිතෙන්නේ හිතේ තියෙන දේවල් ඔක්කොම එක සැරයකට ලියන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම හිතලා වෙලාවක් වෙන් කරගෙන පෑනයි කොළයකුයි අතට අරන් ලියන්න ඉඳගත්තාම මොනවද ලියන්නේ, කොහොමද පටන් ගන්නේ කියලා හිතෙනවා. ඒ තරමටම අදහස් අවුල් නොවුනාට සමාජය අවුල්. මේක පට්ට සමාජයක්.

අය වැය ආවා ගියා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම ඔක්කෝම විවෘත කළා. මිනිස්සු පරිභෝජනවාදය තුළ ගිල්ලුවා. ලොක්කෝ තමන්ගේ සැප වෙනුවෙන් ආශ්චර්යයේ පිවිසුම් විවෘත කළා. මිනිස්සු දැන් වාහන ගන්නවා, ආශ්චර්යයේ පිවිසුමට යන්න. එයාලාගේ ප්‍රධාන ඉලක්කය බයික් එකක්, අලුත් කාර් එකක් කොහොම හරි ගන්න. එහෙමත් නැත්නම් ෆෝන් එකක්, TV එකක් ගන්න. තමන්ට ගෙයක්, ගෙදරට වොෂින් මැෂින් එකක් ගන්න. මිනිස්සු අද ජීවත් වෙන්නේ ලෝකෙම තියෙන බඩු එකතු කරන්න. මේකට කියන්නේ පරිභෝජනවාදය. නමුත් සමහර අය මේක ජීවිතය බවට පත් කරගෙන.

පරිභෝජනවාදය කියන්නේ ජීවත්වීම සඳහා කරන පරිභෝජනය නෙමෙයි. පරිභෝජනය කිරීම වෙනුවෙන් ජීවිතය කැප කිරීම. අපිට අද සමාජය දකින්න ලැබෙන්නේ භාණ්ඩ හා දේපළ වෙනුවෙන් ජීවිතය කැප කරන මිනිස්සු. මිනිසුන්ගෙ සාර්ථකත්වය අද මනින්නේ ඔහුගේ නිවසේ තියන බඩු බාහිරාදියෙන්. තමන්ගේ සාලයේ වැඩිපුර විදුලි උපකරණ තියේ නම් ඔහු තමන්ගේ ජීවිතය සාර්ථක කර ගත් අයෙක්. තව, එයාගේ ගෙදර තට්ටු දෙකක් නම්, එයාට කාර් එකකුත් තියේ නම් ඔහු සමාජයේ ආදර්ශමත් ධෛර්යමත් මහත් කැපවීමෙන් ජීවිතය ජයගත් මිනිස්සු කියලා කියනවා. අද ඇත්තටම මිනිස්සු මනින්නේ මෙන්න මේ මිම්මෙන්.

මේවා ජීවිතයට අවශ්‍ය දේවල් තමයි. ඒත් ජීවිතය කියන්නේ ලීසිං දාලා ගෙවන්න ගන්න බඩු වලටද? මුළු ජීවිත කාලයම සමාගම් වලට ණය වෙමින් භාණ්ඩ එකතු කරන එකටද? ඇත්තටම මේ ජීවිතය නෙමෙයි. ජීවිතය තියෙන්නේ වෙන තැනක.

අපි ඒ ජීවිතය හොයමු. අපේ ජීවිත අපේමද, නැත්නම් වෙන කාගෙවත්ද කියලා හොයමු. මේක පට්ට සමාජයක්. මේ සමාජයේ නරුමවාදය ඇරෙන්න, නග්න ස්වාර්ථකාමය ඇරෙන්න වෙන මුකුත් ඉතිරි කරලා නැහැ. මිනිහෙක් තවත් මිනිහෙක් එක්ක කතා කරන්නේ ඔහුගෙන් ඇති ලාභය ගැන හිතලා. තවත් කෙනෙක් එක්ක හිනා උනත් එහෙමයි. අද මිනිස් සබඳතා ඇතුලේ ව්‍යාජත්වය තියෙන්නේ. මිනිහෙක් මිනිහෙක් එක්ක තියෙන්නේ දේපල සබඳතාවක්, නැත්නම් ආර්ථික ගනුදෙනුවක්. එතන ආත්මීය බැඳීමක් ඇත්තේම නැහැ. ඉතින් මේක පට්ට සමාජයක්. මේක වෙනස් වෙන්න ඕනෑ. අද ඉඳන් මේ කියවන මොහොතේ සිට ඔබට ඇති අභියෝගය ඔබගේ ජීවිතය සොයා ගැනීමයි. මතක තියාගන්න. මේ සමාජයේ දී අපිට අපේ ජීවිත අතහැරිලා. ඇත්තම කිව්වොත් අපේ ජීවිත පැහැරගෙන.

දවසක් මිනිහෙකුට හැඟීම් ඇත්තේ කොහේදැයි සොයන්නට හිතුනා. හැඟීම් සොයා ඔහු ඇවිදින්න පටන් ගත්තා.

මේ යන ගමනෙදි ඔහුට සංගීතඥයෙකු හමුවුණා. හැඟීම් ඇත්තේ කොතැනදැයි ඔහු සංගීතඥයාගෙන් ඇහුවාම වයලීනයේ තත් අතර යැයි ඔහු උත්තර දුන්නා. ඔහු මාස ගණනාවක් තත් අතර හැඟීම් සෙව්වා. එහෙත් තත් වල හඬ විතරක් ඔහුට හමුවුණා.

ඊළඟට ඔහු දාර්ශනිකයෙක් හමුවුණා. ඔහු කියපු විදියට ඔහු පොත් අතර හැඟීම් සොයන්න වුණා. ඔහුට හැඟීම් වෙනුවට විවිධ හැඟීම් වල හැඩ හමුවුණා.

අන්තිමේදී ඔහුට පෙම්වතියක් හමුවුණා. තමන් හැඟීම් සොයන බවත්, තත් අතර හෝ පොත් අතර හැඟීම් හමු නොවුන බවත් ඔහු ඇයට කීවා.

ඇය ඉතා සන්සුන්ව උණුසුම් හාදුවකින් සංග්‍රහ කර ඔහුට මෙසේ කීවා.
“හැඟීම් ඇත්තේ තත් අතරවත් පොත් අතරවත් නොව සිත් අතර.....!“
(උපුටා ගැනීමකි)

3 comments:

  1. මිනිස්සුන්ට සිහියක් නැහැ මේ ජිවිතේ දියවෙලා ඉවර වෙනවා කියලා... එකඊ මේ මොහොතේ ජිවත් නොවී හෙට ජිවත් වෙන්න දගලන්නේ!

    ReplyDelete
  2. ලෝකෙම තියෙන විදුලි උපකරණ , වාහන ගෙවල්වලට එනවා. බුදුපිළිම පාරවල් අයිනට යනවා. මේක පට්ට සමාජයක් තමා.

    (Word verification නම් ටිකක් කරදරයි)

    ReplyDelete
  3. loveකික ජීවිතේ කියන්නේ ඕකනේ ...

    ReplyDelete