Saturday, December 31, 2011

සයිබර් අවකාශය ලිබරල්කරණයෙන් ඔබ්බට

ලාංකීය වත්මන් දේශපාලන භූමිකාව තුළ එහි සියලු සමාජගත දේහයන් අර්බුදයටම යමින් තිබේ. එය ඉතාම ඛේදනීය අවසානයක ඇරඹුමක් සටහන් කරමින් සිටී. ලාංකීය දේශපාලනය නව පන්නයේ දේශපාලන මගක්, නව නායකත්වයක්, නව අරගල විධීන් ඉල්ලා සිටී. වත්මන් අර්බුදය විසින් මතු කර ඇති අවස්ථාව තේරුම්ගත හැක්කේ එලෙසය. එය වත්මන් සමාජයේ අභියෝගයයි.

 එකී අභියෝගය අර්බුදයේ අභියෝගය වන විට එම අභියෝගය තේරුම් ගැනීම හා ඊ‍ට විසඳුම් සෙවීමට මැදිහත්වීම එම අභියෝගයේ අර්බුදය බවට පත්ව ඇත. මේ සඳහා දේශපාලන ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වය සාකච්ඡා කිරීම ‍මීට‍ පෙරත් සිදු කර ඇති බැවින් ඉදිරියේදීත් එවැනි බලාපොරොත්තුවක් ඇති නිසා අපද මැදිහත්ව සිටින Syber Space පිළිබඳව සාකච්ඡා කිරීමට කැ‍මැත්තෙමු. විශේෂයෙන්ම මෙහිදී අප නෙත ගැටෙන්නේ සිංහල blog අඩවියන්ය.

 නව තාක්‍ෂණික භාවිතාව සමග වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ එක් පැතිකඩක් වූ සිංහල බ්ලොග් අඩවි යනු බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හෝ තනිවම හෝ පවත්වාගෙන යා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැක. එකී blog අඩවි වර්තමානයේ පිරික්සන විටෙක ඒවා විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය කරන බවක් දැකිය හැක. කලාව, තාක්‍ෂණය, සංස්කෘතිය, ලිංගිකත්වය, ෆැසිස්ට්වාදය, ධනවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ලිබරල්වාදය, අවස්ථාවාදය, ජාතිවාදය බැරිම නම් නිදහස්වාදය ගැන හෝ ලියමින් සිටී. ප්‍රශ්නය වන්නේ ද මෙම අඩවි වල පවතින නිදහස්වාදයමය.

 විටෙක වීදියේ සටනට පක්‍ෂවද, විටෙක විපක්‍ෂවද, රෙජීමයට පක්‍ෂවච, විටෙක විපක්‍ෂවද හිතට දැනෙන හැඟෙන දේ කුරුටු ගාමින් ඇත. ඒවා කියවන අය සිතන්නේ මේවා ලියන්නේ මහා කෙරුමෝ කියාය. මොවුන් ඒ තරම් ම කැරළිකරුවෝය. අවි අමෝරා‍ගෙන කුරුටු ගාන්නේ බලන උන්ගේ ඉහමොල රත් වෙන්නටය. එය විටෙක ජවසම්පන්නය. විටෙක එය සටන්කාමීය. විටෙක විප්ලවකාරීය. එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ඔළු පලාගන්නේ නැතිව, හිරබත් කන්නේ ද නැතිව සියල්ලටම ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් ඇත. විටෙක මෙකී සංවාදයන් එකිනෙකා යට කරගන්නා අදහස් විනා ඉන් කියවන වුන්ට මෙලෝම වැඩක්වත් නැත. අවසානයේ සයිබර් අවකාශය එකිනෙකාගේ යුද පිටියක් බවට පත්ව මූලික ප්‍රතිවිරෝධය මගහරවා ගනී.

 තමාගේ රුචි අරුචිකම් මත සීමා මායිම් සකස් කර ගත් අයද මෙහි දැකිය හැක. එවැනි අයට තමා ජීවත් වන රෙජීමය රවුම්ද, හතරැස්ද යන්න අදාළ නැත. ඔවුන්ට තමාගේ රුචිකම් වලට අනුව ලියන්නට බොහෝ දේ ඇත. ඒ නිසාම ඔවුන්ද ඇතුළත් සමාජයේ බහුතරය වූ පීඩිතයා ඔවුන්ට මගහැරී ඇත. එමෙන්ම ඔවුන්වද පීඩාවට පත් කරන දුෂ්ඨ පීඩකයාද මගහැරී ඇත. මෙකී සියලු භාවිතාවන් අප අත්දුටු සයිබර් අවකාශයේ ලිබරල්කරණයයි. වත්මන් දේශපාලන මොහොතේ දී අරගලකරුවාගේ අනෙකා විය යුත්තේ පීඩකයා බව අපගේ විශ්වාසයයි. එහෙත් පීඩකයා අනෙකා කරගන්නවා වෙනුවට තමාගේම ගමන් සගයා අනෙකා බවට පත්ව එල්ල වන ෂෙල් ප්‍රහාර වලින් ද බර අවි වලින් ද පොදු සාමූහික අරගලය වල් වැදී ඇත. එය ඉතා පටු ගෝත්‍රික හැඩයක් ද ගෙන ඇත. එවැනි භාවිතාවක් දිගින් දිගටම පෙන්නුම් කරන blog අඩවිකරුවා ස්වයං වින්දනයක යෙදී ඇතැයි නිගමනයකට පැමිණීමට ද හැකියාවක් ‍ලැබෙන අතර මෙකී භාවිතාව විසින් ඔවුන් රැඩිකල්වාදී පුරුෂයන් බවට පත් කිරීමද අහම්බයක් නොවේ.

මෙකී හේතුව නිසාම blog අඩවි කරුවා ඉතා පටු පුද්ගලික මාර්ගයන් ඔස්සේ දිවයාම අරඹා ඇත. එහි කූටප්‍රාප්තිය වනුයේ මොවුන් එක් වේදිකාවක් තුළ වඩා හිඳුවා ගැනීමය. මොවුන් එක් සංවිධානයක් යටතට ගැනීමය. තමාගේ වේලාවෙන් සොරකම් කර ගන්නා කාලයක් තුළ රැඩිකල් මානයකට තමාවම ඔසවා තබා ගනිමින් ස්වයං වින්දනයක යෙදීම වෙනුවට blog අයිතිකරුවන් සත්‍යවාදීන් ලෙස සටන් කරන එක් පෙරමුණකට පැමිණීම අද දවසේ නව අරගල මානයක් ලෙස අප දකී.



වත්මන් ඓතිහාසික හැරවුමේ දී ඉල්ලා සිටිනුයේ එවැනි භාවිතාවක් මිසක පුටු රත් කරන, විප්ලවීය පාඨයන් ලියා තබන, තමාගේම සගයාට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන භාවිතාවක් නොවේ. එකී හැරවුමට blog අඩවි කරුවාද සූදානම් වන්නේ නම් එය ලාංකීය භූමිය තුළ සිදු වන ඓතිහාසික අරගල දහසක ආරම්භය බවට පත් වනු ඇත. එය නව මානයක මාධ්‍ය භාවිතාව වනු ඇත. එය පීඩකයාට උඩින් සිට පීඩකයා ඔසවා තබා ගන්නා ක්‍රියාදාමයක ආරම්භය වනු ඇත.

9 comments:

  1. "එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ඔළු පලාගන්නේ නැතිව, හිරබත් කන්නේ ද නැතිව සියල්ලටම ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් ඇත."

    :-)

    ඒත් හැම සටනක්ම වීදියට බැහැල කරන්න කියල නියමයක් නෑනේද?.

    ReplyDelete
  2. ජය වේවා.... ඔය කීවට ඔයත් ඒ වගේ නේ ද?

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයේ ගැවසෙන වැඩිදෙනා බුශුවා මැද පාන්තිකයන්ය. ඔබේ මනෝරාජික ලෝකයේ මෙන් අරගල කොරන්නට අවශ්‍යතාවයක් උන්ට නැත. සටන් කොරන්නට තබා පඩයක් අරින්නවත් උවමනාවක් නැත. මේ බ්ලොග් අවකාශයේ මාක්ස් වාදීන්ද , දේශ්ප්‍රේමින්ද, ජාතීවාදීන්ද, ලිබරල්වාදීන්ද, ට්‍රොස්කිවාදීන්ද, ජෙප්පෝද, නලින් වාදීන්ද, අමරසේකර වාදීන්ද, සිටිති. වැඩියෙන්ම ඉන්නේ මම වාදීන්ය. මුන් එක් අරමුණක් සඳහා එකතු කිරීම ගෙම්බන් අල්ලනවාට වඩා අමාරුය.

    ReplyDelete
  4. වීදියට බැසීමට කලින් බොහෝ දෑ කල යුතුව තිබේ . ඒ ගෙදර වැඩ ටික නොකර කෙලින්ම වීදියට බැසීමට යනු දැන දැන ම විනාශය කැඳවා ගැනීමකි. අනිත් අතට සෑම අරගලයක්ම වීදි සටනක් විය යුතු නැත. සෑම කෙනෙකුගේ අරගල විදියම වීදි සටන් විය යුතුද නැත. සෑම කෙනෙක්ම අරගලය වෙනුවෙන් හිරබත් කෑ යුතුයැයි නීතියක්ද නැත. එසේම සෑම කෙනෙක්ම අරගලය වෙනුවෙන් ඔලු පලා ගත යුතුද නැත. අරගලයට සහභාගි විය හැකි විදි බොහෝය. එයින් තමන්ට සුදුසු ක්‍රමය ‍තෝරාගත යුත්තේ තමන්මය. එය තමන්ගේ හැකියාව ,ධාරිතාව , කැමත්ත මත තීරණය වනු ඇත.


    අනිත් කරුණ නම් බ්ලොග් අවකාශය යනු විවිද මතාදාරින් සිටින තැනක් බවයි. එය තුඅල මාක්ස්වාදින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්, කොමියුනිස්ට්වාදින්, ෆැසිස්ට්වාදින්, අරාජිකයන්,ශුන්‍යවාදින්, ජාතිවාදින්, ජාත්‍යන්තර වාදින් , ආගමික උම්මත්තකයින් ,ත්‍රිල්වාදින්,ආදි වශයෙන් නොයෙක් මත දරන්නවුන් සිටිති. ඔවුන් බ්ලොග් ලියන්නේ තම මතයන් ප්‍රචලිත කිරීමටය. ඔවුන් සියලු දෙනා එක ගොඩකට ගත නොහැක්කක් මෙන්ම එසේ කිරීමේ අවශ්‍යතාවක්ද නැත.

    ReplyDelete
  5. ඉස්සර වෙලාම නමක් ගමක් ඇතුව එන්න . හැංගි හොරා මුණ හංගගෙන නිකන් කොල්ලෝ කෙල්ලෝ අවුස්සන්නේ නැතුව . ඔය වගේ මෝස්‌තර අපි දැකල නැතුව නෙමේනේ . අපිත් සටනට කැමතියි සටන අවංක නම් .

    ReplyDelete
  6. අරගල කලාය කියල අමුතුවෙන් දෙයක් සිද්ධ වෙනවද ? පීඩකයාගේ මූණ මාරු කරමුද? පීඩිතයාට වාසියක් වෙනවාද ? මොකක් කරන්නද ඔබේ බලාපොරොත්තුව ?

    ඔලු පලාගෙන අර්ත ශුන්‍ය දෙයක් කරනවාට වඩා , ආතල් එකේ පැත්තකට වෙලා ඉඳන් එහෙම දෙයක් කරන එක වැඩිය හොඳයි නේ

    ReplyDelete